අනවශ්‍ය භාවිතයෙන් ජීවිත අනතුරේ හෙළන ප්‍රතිජීවක

අනවශ්‍ය භාවිතයෙන් ජීවිත අනතුරේ හෙළන ප්‍රතිජීවක

December 9, 2024   12:44 pm

ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස සහ වැරදි ලෙස භාවිතය හේතුවෙන් එම ඖෂධවලට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගීම මිනිසාට අහිතකර බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

අද දෙරණ "Big Focus" වැඩසටහන සමග එක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැලැක්වීමේ ජාතික කේන්ද්‍රස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා), වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඒ සම්බන්ධයෙන් විස්තර කළේ මෙසේය.
   
ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු..."ඇත්තටම අපි කතා කරන්නේ ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව අපි භාවිත කරන ඖෂධ වලට එන ප්‍රතිරෝධය ගැන. ක්ෂුද්‍ර ජීවීන් කිව්වහම වර්ග ප්‍රධාන 4ක් තිබෙනවා. බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිත. මෙන්න මේ ක්ෂුද්‍රජීවින්ට එරෙහිව නිෂ්පාදනය කරලා තියෙන ඖෂධ වලට කියන්නේ ප්‍රතිජීවක කියලා. මෙන්න මේ ප්‍රතිජීවක කියන ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සහ වැරදි ලෙස භාවිතය නිසා මේ ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ඒ ඖෂධවල බලය නැති වෙනවා. එවිට හානිය වැඩියි."

ලොව පළමුවෙන්ම සොයාගත් ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙනිසිලින් ය. ඒ 1928 දීය. එම ඖෂධය භාවිතයට ගෙන ඇත්තේ 1944 වසරේ සිට ය.

එතැන් සිට 1980 දක්වා විවිධ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරිණි.

නමුත් එතැන් සිට ප්‍රතිජීවක නිෂ්පාදනය ඉතාමත් අඩුවී ඇති බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

එයට ප්‍රධානම හේතුව අධික වැය බරයි.

2017 සිට 2023 දක්වා කාලය තුළ නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ වර්ග 10ක් පමණි.

ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය පවසන්නේ, "මේ ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් මෙම බැක්ටීරියා විසින් හදාගෙන තිබෙනවා. එක පැත්තකින් අපිට ප්‍රතිජීවක ඖෂධ නැතිවෙමින් යනවා. අලුත් ඒවා එන්නේ නැහැ. ඒ අතරේ තිබෙන ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය වැඩිවෙලා."

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පෙන්වා දෙන්නේ ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිතය අවම කිරීමට වෛද්‍යවරුන්ට ද වගකීමක් ඇති බවයි....
 
"ලෙඩරෝග ජාතියක් එනවා සත්ත්වයාට, මිනිසාට සහ ශාකවලට. මේ සෑම රෝගයකට ම බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. ප්‍රතිකාර වර්ග ගොඩක් තියෙනවා. ඒකනිසා තමයි වෛද්‍යමය ප්‍රතිකාරය තුළ වෙදකම හෙදකම වගේ වචන පාවිච්චි වෙන්නේ. කීමෝතෙරපි - මේ ඖෂධ කියන්නේ කීමෝතෙරපි. ආහාර - ෆුඩ් තෙරපි. ස්පෝර්ට්ස් තෙරපි විවිධ තෙරපි තියෙනවා. ඖෂධ කියන්නේ ලෙඩ හොඳ කරන එකම දේ නොවෙයි. ඖෂධයකට මාත්‍රාවක් තියෙනවා. ඒ සඳහා වාර ගණනක් තියෙනවා. කාලයක් තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ නියමිත මාත්‍රාව නියමිත වෙලාවට නියම විදියට ගන්නේ නැතිව අපේ ගොඩ දෙනෙක් හොයන්නේ ඉක්මනින් හොඳ කර ගන්න. ඉක්මන් කොටයි. ලෙඩකට ප්‍රතිකාර කළ යුත්තේ "evidence based". ගොඩක් වෙලාවට ජනතාවට ඕනේ එකපාර ලෙඩ හොඳ කරගන්න. "මහත්තයෝ මට අමාරුයි කරල් ටිකක් දෙන්න.." කිව්වා පළියට වෛද්‍යවරයා බෙහෙත් ලියන්න සුදුසු නෑ. ඒ වගේම රෝගියා දැනගන්න ඕනේ මෙම බෙහෙත නිසා මගේ ශරීරයේ මොළයට හානි වෙයිද, හෘද වස්තුවට හානි වෙයිද, වකුගඩුවට හානි වෙයිද අක්මාවට හානිවෙයිද කියලා."