පොඩි ලැසීට ඇප
December 9, 2024 11:48 am
දීර්ඝ කාලයක් ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් තොරව රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නෙකු ලෙස හැඳින්වෙන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" අද (09) ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.
ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් 2016 වසරේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු "පොඩි ලැසී" ඇපමත බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
"පොඩි ලැසී" අම්බලන්ගොඩ පොලීසිය විසින් මුල්වරට අත්අඩංගුවට ගෙන තිබුණේ 2016 වසරේදීය.
ඒ රත්ගම ප්‍රදේශිය සභාවේ සභාපතිවරයාව සිටී මනෝජ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙනි.
අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ "පොඩි ලැසී" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුණි.
එහිදී 2020 වසරේ බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරින් පිරිසකට මරණ තර්ජන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාටද තර්ජනය කිරීම සම්බන්ධයෙන් "පොඩි ලැසීට" එරෙහිව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කෙරුණි.
මෙවැනි පසුබිමක පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට හේතුවූ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට අදාළව 2018 වසරේදී ඔහුට ඇප නියමව තිබුණද, එතැන් සිට මේ දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටවීමට "පොඩි ලැසී" කටයුතු කර තිබුණේ නැත.
කෙසේ වෙතත් අද පෙරවරුවේ සිය නීතිඥයින් මාර්ගයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී අධිකරණය මගින් නියමකර තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඇප කොන්දේසි සම්පූර්ණ කළේය.