රශීඩ්ගෙන් ආයාචනයක්

රශීඩ්ගෙන් ආයාචනයක්

December 4, 2024   10:11 pm

තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබේ.

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව ලැබීම හා අර්ධ වෘත්තීය පුහුණුව ලැබීම තහනම් කරමින් තලේබාන් නායක හිබතුල්ලා අකුන්සාඩා පසුගිය සඳුදා නියෝගයක් නිකුත් කළේය.

ඔහුගේ එම නියෝගයට ප්‍රතිචාර දක්වමින් රශීඩ් සිය 'X' ගිණුම හරහා මෙම ඉල්ලීම කර තිබේ.

තලේබාන් සංවිධානය 2021 වසරේ ඇෆ්ගනිස්තනයේ බලය ලබාගැනීමත් සමග එරට කාන්තාවන්ට දැඩි සීමා පැනවීය.

වැඩිදුර අධ්‍යාපනය ලැබීම මෙන්ම ක්‍රීඩා තහනම් කිරීම ඒ අතර ප්‍රධාන විය.

කෙසේ නමුත් එළෙස සීමා පැනවුවත් මේ දක්වා ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව ලැබීමට තහනමක් නොතිබුණි.

එය එරට කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඉතිරිව තිබූ අවසානම විකල්පය විය.

තලේබාන් රජය 2022 වසරේදී කාන්තාවන්ට පාසල් තහනම් කළ අතර, ඊට පෙර ඔවුන් 6වන ශ්‍රේණියෙන් පසු ගැහැණු ළමයින්ට ද්විතීයික අධ්‍යාපනය තහනම් කර තිබුණි.

තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇතැම් පළාත්වල කාන්තාවන්ට, පිරිමි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීම පවා තහනම් කර තිබේ.

ඒ අනුව මෙම නව නියෝගයත් සමග කාන්තා සෞඛ්‍ය සේවිකාවන් හිඟවන බවත්, එය කාන්තාවන්ට අනවශ්‍ය වේදනාවක් ඇති කරනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පවසන්නේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන් නොසිටීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය රැකවරණය නොමැතිව වේදනාකාරී මරණන්ට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන රෂීඩ් අවධාරණය කර සිටින්නේ, ඉස්ලාමීය ඉගැන්වීම්වල අධ්‍යාපනයට ප්‍රධාන තැනක් හිමි බවයි. 

එමෙන්ම කාන්තා සහ පිරිමි දෙඅංශයේම දැනුම අත්‍යාවශ්‍ය බව ඔහු ද අවධාරණය කරයි.