රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට

රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට

December 3, 2024   08:28 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (02) එම අනතුර සිදුව තිබුණේ කහතුඩුව, හංවැල්ල, කිරින්ද, මාතර සහ පල්ලම යන පොලිස් වසමේවලදීය.

කොට්ටාව - තලගල මාර්ගයේ කුරුඳුවත්ත පාරට හැරෙන හන්දියේදී  මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අවිස්සාවේල්ල - කොළඹ පැරණි මාර්ගයේ හංවැල්ල නගරය ආසන්නයේදී පුද්ගලික බස් රථයක රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක හා මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ
ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව ශාලාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ

මරණකාරිය වයස අවුරුදු  75ක් වූ වැලිකන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තිස්සමහාරාමය - කිරින්ද ප්‍රධාන මාර්ගයේ සුදුවැලිපැලැස්ස සාම මාවත හන්දියේදී සෆාරි ජිප් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, යතුරුපැදියේ ගමන්කළ පසුපැදිකාරියයි.

මරණකාරිය වයස අවුරුදු 46 ක් වූ කිරින්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර මාතර - හක්මණ මාර්ගයේ දුම්රියපොළ පාරට හැරෙන හන්දියේදී  මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 76ක් වූ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ආණමඩුව - බංගදෙනිය මාර්ගයේ වෙන්දකඩුව පල්ලිය ඉදිරිපිටදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා පසු පැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකාරිය මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකි.