අම්පාරේ ඛේදවාචකයේ අලුත්ම කථාව
November 27, 2024 08:10 pm
අම්පාර, කාර්තිව්හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තිදෙනෙකුගේ මෘතදේහ අද (27) සොයාගැනුණි.
ඒ ඊයේ සිට මේ දක්වා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සමග එක්ව සිදුකළ මෙහෙයුම්වලදීය.
කෙසේ වෙතත් අතුරුදන් අනෙක් සිසුන් තිදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුව ගසාගෙන යෑමේ සිදුවීම වාර්තා වුණේ ඊයේ (26) පස්වරුවේය.
එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයකි.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් හේතුවෙන් එම පාසලට නිවාඩු ලබාදී තිබූ අතර, ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසළින් වැසි ජලයෙන් යටවී තිබුණි.
මේ හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි දරුවන්ට සිය නිවෙස් වෙත යෑමට නොහැකි වී තිබුණි.
එහිදී සිසුන් 11 දෙනෙකු සමන්තුරේ දෙසට ගමන්කරන ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, සිසුන් රැගත් ට්රැක්ටරය මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානය හරහා ගමන් කරමින් තිබියදී එය අනපේක්ෂිත ලෙස සැඩපහරකට හසුව පෙරළී ඇත.
එහිදී ට්‍රැක්ටර් රථයේ සිටි පිරිස සැඩ පහරේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.
කෙසේවෙතත් ඒ අතරින් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබූ නමුත් සෙසු පිරිස අතුරුදන්ව තිබුණි.
මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙක්, ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සහායකවරයාය.
මෙම සිදුවීම මුල්කරනිමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, දෙමාපියෝ, වැඩිහිටියෝ මෙවැනි සිදුවීම් පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.
එමෙන්ම මෙවැනි අවස්ථා දරුවන්ට ලබා නොදිය යුතු බවය.
"තමන්ට මාර්ගය පැහැදිලි නැත්නම්, ජලයෙන් යටවෙලා තියෙනවානම් මාර්ගය හරහා ගමන්කරන එපා. සමහරවිට අනපේක්ෂිත ආකාරයේ විවිධාකාර වළවල් වගේ දේවල් මේ මාර්ගයේ තියෙන්න පුළුවන්. මාර්ගයේ කොටස් කැඩිලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ වගේ ළමයි ගමන්කරනවා. දෙමාපියෝ වැඩිහිටියෝ මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒවට අවස්ථාව ලබාදෙන්න එපා".