රටම කලඹන E8 වීසා ජාවාරම - තිදෙනෙක් කොටුකරගත් මෙහෙයුම

රටම කලඹන E8 වීසා ජාවාරම - තිදෙනෙක් කොටුකරගත් මෙහෙයුම

November 26, 2024   07:36 pm

ආන්දෝලනයට තුඩුදී ඇති E-8 වීසා ක්‍රමවේදය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා සිදුකළ මූල්‍ය වංචාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් ඒකකය සමග එක්වූ අද දෙරණ උකුස්සාට හැකිවිය.
.
E-8 වීසා ක්‍රමවේදය යටතේ  දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් ඒකකයට පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පැමිණිලි ලැබී තිබුණි.

ඔවුන් පැමිණිලි කර ඇත්තේ ජාවාරම්කරුවන් තමන්ගෙන් රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව වැටලීම් ඒකකය අදාළ ජාවාරම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේ "අද දෙරණ" උකුස්සාව ද එක්කර ගනිමිනි.

ජාවාරම්කරුවන් දෙදෙනකු  සූක්ෂ්ම ලෙස බත්තරමුල්ලේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

එහිදී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් ජාවාරම්කරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනුණි.

යක්කල සහ ගලගෙදර පදිංචිකරුවන් වූ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ කොට්ටාව ප්‍රදේශයේ කාන්තාවක් පිළිබඳව තොරුතුරු අනාවරණ විය.

ඒ අනුව එම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් එහි යන අතරතුර  උපායදූතයෙකු මගින් ඇයට දුරකතන ඇමතුමක් ලබාදුන්නද ඇය පැවසූවේ තමන් නිවසෙහි නොමැති බවයි.

කෙසේවෙතත් ඇයගේ නිවසට ගොස් අප කළ සොයාබැලීමේදී නිවැසියන් ද සඳහන් කළේ ඇය නිවසේ නොමැති බවයි.

නමුත්,  නිවසෙහි සැඟව සිටි ජාවාරම්කාර කාන්තාව විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

ප්‍රශ්නකිරීම් වලදී ඇය හෙළිකළ තොරතුරුවලට අනුව ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක ය.