රිළා හානි ප්‍රමුඛ සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක්

රිළා හානි ප්‍රමුඛ සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක්

November 20, 2024   10:17 pm

පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ය.

එහිදී, බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් එම අමාත්‍යංශයේ පිහිටුවන ලදි. 

මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආයතන 15ක් පමණ සහභාගී විය.