රේගු නිලධාරින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි
November 13, 2024 03:39 pm
රේගු නිලධාරීන් විසින් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අද (13) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් එම සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා ඒ බව පැවසීය.
අමාත්‍ය විජිත හේරත් මහතා ඉකුත් 07 වනදා කොළඹ වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී බහාලුම් රථ හිමිකරුවන් සහ රියදුරන් විසින් තමන් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමට විරෝධය පළකරමින් ඔවුන් රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමේ ක්‍රියාමාර්ගයක නිතර විය.
ඒ හේතුවෙන් බහාලුම් නිශ්කාෂණ කටයුතු බොහෝ ප්‍රමාද විය.
කෙසේ නමුත් මේ වනවිට රට තුළ මැතිවරණයක් පැවැත්වෙන විශේෂිත කාලසීමාවක පවතින බැවින්, කන්ටේනර් රථ ගාල්කිරීමට සිදුවීමෙන් ලොරි රථ රියදුරන්ට හා සහායකන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම සැලකිල්ලට ගෙන රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවූ බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමිල සංජීව මහතා,
"අපට දැකගන්න ලැබෙනවා බහලුම් නිශ්කාෂණය කරන අංගනවල විශාල කන්ටේනර් රථ තදබදයක් ඇතිවී තිබෙනවා මේ ක්‍රියාමාර්ගයත් එක්ක. රට පවතිනේනේ විශේෂිත තත්ත්වයක.
හෙට මහ මැතිවරණය පැවැත්වෙනවා. ඡන්ද අයිතිය සියලු දෙනාගේම අයිතියක්. ඒ නිසා ලොරි රථ රියදුරන්ට හා සහායකන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහ මැතිවරණය අවසන් වන තෙක් නොවැම්බර් මස 12වන දිනට ප්‍රථම අපි රාජකාරී කළ ආකාරයෙන්, මහා මාර්ගයේ අවහිරතාවත් ඇති නොවන ආකාරයට වරාය පරිශ්‍රයේ බහාලුම් රථ රදවාගනිමින් යම්කිසි සීමාකිරීමකට ලක්ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා".
"මෙම ගැටලුවලට පිළිගතහැකි විසඳුමක් ලැබිලා නැහැ. ඒ නිසා ලබන සඳුදා දිනයේ සිට අපි නැවතත් අපේ සාමාජිකත්වයට දැනුම්දෙනවා නොවැම්බර් මස 12වනදා අපි නිකුත්කළ උපදෙස් අනුව කටයුතු කරන්න කියලා".