දෙරණට අභිමන් සම්මාන

දෙරණට අභිමන් සම්මාන

November 12, 2024   01:53 pm

කැලණිය විශ්වවිද්‍යාලයේ Rotaract සමාජය විසින් සංවිධානය කරනු ලැබු නවමු මාධ්‍යකරණයේ සරසවි හරසර 'අභිමන්' සම්මාන උළෙලේ දී යූටියුබ් අවකාශයේ ජනප්‍රියම රූපවාහිනි නාලිකාව ලෙස 'ටීවි දෙරණ' සහ ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා ලෙස 'අද දෙරණ' සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙරට නව ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන් හා අන්තර්ගත නිර්මාණකරුවන් ඇගයීමට ලක්කරමින් මෙම සම්මාන උළෙල ඊයේ (11) කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක සහ තාක්ෂණ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය දිනූ ප්‍රමුඛයින් කිහිපදෙනෙකු ඇගයීමට ලක්වූ අතර, යූටියුබ් අවකාශයේ ජනප්‍රියතම 'Cover Song' නිර්මාණය ලෙස සන්තාන සුසුම් ගීතය වෙනුවෙන් සුනීර සුමංගල සම්මානයට පාත්‍රවිය.

මේ අතර යූටියුබ් අවකාශයේ ජනප්‍රියතම ගුරුවරයා ලෙස දිනේෂ් මුතුගල මහතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, යූටියුබ් අවකාශයේ ජනප්‍රියතම ගායිකාව ලෙස කාංචනා අනුරාධි සහ ජනප්‍රියතම ගායකයා ලෙස භාතිය සන්තුෂ් සම්මානයෙන් පිදුම් ලැබීය.

ෆේස්බුක්, ඉන්ස්ටර්ගෑම් සහ VLOG සමාජ මාධ්‍ය ජාලාවන්හි ජනප්‍රියතම චරිතයට හිමි සම්මානය රංගන ශිල්පිණී ශනුද්‍රි ප්‍රියසාද් විසින් හිමිකර ගත්තාය.

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රියතම චරිතය ලෙස 'වයිල්ඩ් කුක් බුක්' නිර්මාතෘ චරිත් සිල්වා සම්මානයෙන් පිදුම් ලැබීය.

යූටියුබ් අවකාශයේ ජනප්‍රියතම ඉවුම් පිහුම් වැඩසටහන ලෙස 'වයිල්ඩ් කුක් බුක්' සම්මානයට පාත්‍ර වුණි.

මේ අතර යූටියුබ් අවකාශයේ ජනප්‍රියතම ප්‍රහසන නාලිකාව ලෙස 'Vini Production'සම්මානයට පාත්‍ර වුණි.