යක්දෙහි කන්දෙන් ඇසෙන කඳුළු කතාව - අක්කර දෙකක තේ වගාව විනාශ කරලා
November 12, 2024 01:51 pm
දහඩිය වගුරුවමින් වෙහෙස මහන්සි වී සිදුකළ වැවිලි බෝග වගාවක් නොසිතූ ලෙස විනාශ වී යන්නේ නම් එහි වේදනාව කොතරම්දැයි සිතා ගත හැකිය.
මේ නෙළුව යක්දෙහි කන්දෙන් ඇසෙන එවන් කඳුළු කතාවකි.
ගාල්ල හා මාතර දිස්ත්රික්කවලට මායිම්ව ලෝක උරුම සිංහරාජ රක්ෂිත මායිමේ පිහිටි නෙළුව දෙල්ලව යක්දෙහි කන්ද කඳුපාමුල පිහිටි අක්කර දෙකක තේ වගාවේ හිමිකරුවා වන්නේ 50 හැවිරිදි එච්.ජී. තුෂාරනන්ද හෙවත් ජෝති නැමැත්තායි.
ඔහුට සිය පියාගෙන් ලැබුණු අක්කර දෙකක තේ වගාව මීට දින කිහිපයකට පෙර හදිසියේම ගලවා ඉවත්කර ඇත්තේ කොළඹ තිඹිරිගස්යායේ පදිංචි කේ. සමරසූරිය නමැති කාන්තාවක් විසිනි.
ඒ තමන් මෙම ඉඩමෙහි සින්නක්කර අයිතිකාරිය බව පවසමිනි.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බව ජෝති නම් පුද්ගලයා පවසයි.
"රට ඉඳලා නෝනා කෙනෙක් කතා කරලා ඇහුවා තමා ජෝති ද කියලා. මම කිව්වා ඔව් කියලා. තමා ඒ ඉඩමෙන් අයින් වෙන්න ඕනේ කියුවා නැත්නම් කොළඹින් කට්ටිය එවලා අයින් කරනවායි කියලා මට තර්ජනය කළා."
කාන්තාව - "හලෝ, ජෝති නේද කතා කරන්නේ"
ජෝති - "ආ.. ඔව් මිස්"
කාන්තාව- "OIC මහත්මයා කතා කළා නේද දවස් දෙකක් ඉස්සරවෙලා?"
ජෝති - "ඔව් කතා කළා"
කාන්තාව - "මම නඩු දානවා දැන්"
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසියේ ස්ථානාධිපතිවරයාද තමාට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ජෝති නැමති පුද්ගලයා පවසයි.
"OIC - "ජෝති නේද?"
ජෝති - "ඔව්"
OIC - "මම නෙළුව පොලීසියේ OIC කතා කරන්නේ. ඕක මිස්ගේ ඉඩම් ටික මිස් අද ඔක්කොම මැනලා ඉවරයක් කරගන්නවා. ඔයාලට කියන සිංහලේ තේරෙන්නේ නැත්නම් අපට කරන්න දෙයක් නෑ. ඒ මනුස්සයාගෙන් හොඳින් ඉල්ලගන්න තිබ්බ එක තමයි තමුන්ලා නැතිකර ගත්තේ."
ජෝති- "නෑ..සර්.. මම වැඳලා ඉල්ලුවා."
OIC- "ඊට අමතරව තුවක්කු තියාගෙන දඩයමේ යනවා. මැහි ගහලා තියෙනවාලු."
ජෝති - "ඇවිල්ලා බලන්න සර් තියෙනවාද කියලා..."
ඔහු ඉල්ලා සිටියේ තමා දුක් මහන්සියෙන් වගාකළ තේ වගාව ගලවා ඉවත්කිරීම සම්බන්ධයෙන් සධාරණයක් ඉටු කර දෙන ලෙසයි.
"තාත්තා ඉන්නකන් තාත්තා භුක්ති වින්ඳා තාත්තාගේ දේපළ තමයි මමත් භුක්ති වින්ඳේ. මම අක්කර බදු පවා ගෙවනවා මේ ඉඩමට. තාත්තාත් ගෙවලා තියෙනවා. ගොවිතැන් කටයුතු හැම එකකටම ගෙවලා තියෙනවා. නමුත් මට ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. මගේ සියලු තේ ගිනිබත් කරලා මට ඒවට සාධාරණයක් කරලා දෙන්න"
මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' නෙළුව පොලීසියේ ස්ථානාධිපති සමීර එදිරිසූරිය මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ තර්ජනය කිරීමේ චෝදනාව ප්රතික්ෂේප කරන බවයි.
ඔහු පැවසුවේ මෙය කාලයක සිට පවතින ඉඩම් ගැටලුවක් බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවය.