මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැන්න කොල්ලකරුවෝ කෝටි 7ක් උස්සලා

මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැන්න කොල්ලකරුවෝ කෝටි 7ක් උස්සලා

November 11, 2024   02:48 pm

ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ නාඳුනන කොල්ලකරුවන් පස්දෙනෙකු නිවසේ තිබූ කෝටි 7ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකා නිවසේ තිබූ මෝටර් රථයකින් පළා ගොස් තිබේ.

ඊයේ (10) රාත්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ පියාගේ දෑත් දෙපා ගැට ගසා අදාළ සොරකම සිදුකර තිබුණි.

කොල්ලකරුවන් පළා ගිය මැණික් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ තලකිරියාගම ප්‍රදේශයේ මාර්ගය අසල දමා ගොස් තිබිය දී අද (11) උදෑසන සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

අදාළ මැණික් ව්‍යාපාරිකයා සතු මුදල්, රන්භාණ්ඩ සහ කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් ද සොරුන් විසින් රැගෙන ගොස් ඇත.

ඊයේ රාත්‍රී 9ට පමණ නිවස පිටුපස තාප්පයකින් පැන මුහුණු ආවරණය කරගෙන අදාළ මංකොල්ලකරුවන් පැමිණ ඇති අතර, පිස්තෝලයක් හිසට තබා ව්‍යාපාරිකයා බියවද්දා දෑත් දෙපා සෙලෝටේප්වලින් අලවා ඔහුව රැගෙන නිවස තුළට ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පසුව බිරිඳගේ සහ පියාගේ දෑත් දෙපා ද ගැට ගසා මංකොල්ලය සිදුකර මෝටර් රථය ද රැගෙන පළාගිය බව පොලීසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව පොලීසිය මාර්ගයේ දමා ගොස් තිබූ මෝටර් රථය 'ගියෝ' නැමති පොලිස් සුනඛයා විසින් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී මංකොල්ලයට පැමිණි පිරිසේ බවට සැකකෙරෙන පාවහන් යුගලයක් හමුව ඇති අතර, එ් පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුව ව්‍යාපාරිකයාගේ නිවසේ සිට මද දුරක් ගොස් සුනඛයා නැවතී ඇති අතර, එම ස්ථානයේ සැකකරුවන් නැවතී සිටි බවට නිරීක්ෂණය වූ බව පොලීසිය පවසයි.

පසුව කිලෝමීටර් තුන් කාලක් පමණ ප්‍රධාන මාර්ගය දිගේ ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මෙම නිල සුනඛයා නැවතී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ පියා මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ කටයුත්තක් සඳහා දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය ද සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.