මෙරට සංචාරක ඉපැයීම් ඉහළට

මෙරට සංචාරක ඉපැයීම් ඉහළට

November 9, 2024   04:35 pm

ගෙවුණු වසරට සාපේක්ෂව මේ වසරේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

සංචාරක කර්මාන්තය හරහා පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති මුදල ඩොලර් මිලියන 185.6කි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10 තුළ මුළු සංචාරක කර්මාන්තයෙන් උපයන ලද මුදල ඩොලර් මිලියන 2533.7ක් වෙයි.

මෙය 2023 වසරේ මුල් මාස 10 යේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වන මිලියන 1593.4 සමග සසදන විට 59%ක වර්ධනයකි.

මෙවැනි පසුබිමක 2024 නොවැම්බර් මස මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේදී පළමු දින පහ තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,785කි.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එය 4,488කි. 

ඉන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ චීනය යන රටවලිනි. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරන්නේ, මේ වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431ක් බවය.

2024 ඔක්තෝබර් මාසය තුළදී විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක්.

එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩිවීමකි.