එදා ඡන්දෙ නොදුන් අයත් දැන් සහාය දෙන බව ජනපති කියයි

එදා ඡන්දෙ නොදුන් අයත් දැන් සහාය දෙන බව ජනපති කියයි

November 9, 2024   03:39 pm

ළමා පරපුරට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම හරහා මෙරට දිළිඳුභාවය තුරන් කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ජන රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  

"පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂා කළේ තාත්තාගෙන් පුතාට බලය. ආණ්ඩුව හසුරවපු ජනාධිපතිවරයා අපේක්ෂා කළෙත්, මාමගෙන් බෑණට බලය. හැබැයි මේ රටේ ජනතාව සැප්තැම්බර් මාසේ 21වනදා ඒ සියලු දූෂිත විනාශකාරී පවුල් පරදවලා පොදුජනතාවගේ අතට බලය මාරු කරලා තියෙනවා."   

"ඒ දූෂිත ප්‍රභූ සංස්ථා කවතාවත් හිතුවේ නෑ තමන්ට තමන්ගේ  ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා. මතක තියාගන්න ආයේ බලය ඒ අයගේ අතට මාරුවෙන්නෙ නෑ කියලා."

"අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය තමයි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම. හොඳ අධ්‍යාපනයක්, දැනුමක් ආණ්ඩුවක් විසින් ලබාදෙන්න පුළුවන් නම්, පවුල දුප්පත් දරුවා උගත්නම් අද ඒ පවුල දුප්පත්භාවයෙන් ගොඩ එනවා. හැබැයි පවුලත් දුප්පත් නම් දරුවත් නූගත්නම් ඒ පවුලත් දුප්පත්, දරුවගේ පවුලත් දුප්පත්. මේක චක්‍රීය දුප්පත්භාවය පිළිබඳ අර්බුදයක්."  

"ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරලා හැම දරුවාම පාසලෙන් එළියට එන්නේ අධ්‍යාපනය පිළිබඳව හෝ වෘත්තීමය ලෙස අනායතයට පාර හදාගෙන."

"ජනාධිපතිවරණයේදී අපිට ඡන්දය නොදුන් පිරිසක් හිටියා. සමහර අයට පොඩි සැකයක් තිබුණා. අවිශ්වාසයක් තිබුණා. දෙගිඩියාවක් තිබුණා. ඒත් දැන්... අපිට සහෝදරවරු කියන්නේ... එදා අපිට ඡන්දය නොදුන් ජනතාව තමයි දැන් ඡන්ද වැඩ කරනකොට වැඩියෙන්ම උදව් කරන්නේ."