මාරක රිය අනතුරු 1818ක් - පුද්ගලයන් 1898ක් මරුට
November 2, 2024 05:04 pm
2024 ජනවාරි 01 සිට ඔක්තෝබර් 25 දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1,818න් පුද්ගලයන් 1,898ක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉන් 676ක් පදිකයන් බවය.
මේ වසරේ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
"බදුල්ලේ සහ රදැල්ලේ සිදුවූ රිය අනතුරු දෙකෙන් පමණක් ඊයේ දිනයේ පුද්ගලයන් 62ක් තුවාල ලබා තිබෙනවා. 6 දෙනෙක් මියගිහින් තිබෙනවා ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින්. මේ වර්ෂයේම මාරක රිය අනතුරු පමණක් 2024 ජනවාරි 01 සිට ඔක්තෝබර් 25 දක්වා කාලය තුළ 1,818ක් සිදුවී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ රිය අනතුරු 4,133ක් වාර්තා වුණා. සුළු තුවාල අනතුරු 7,146ක් වාර්තා වුණා."
"මාරක රිය අනතුරු 1,818න් පුද්ගලයන් 1,898ක් මියගොස් තිබෙනවා. ඉන් 676ක් පදිකයන්. යතුරුපැදිකරුවන් 583ක් මියගිහින් තිබෙනවා. රියදුරන් 135ක්. වාහනවල ගමන් ගත් මගීන් 249ක්. පාපැදිකරුවන් 123ක්."
"මාරක රිය අනතුරු 1,818 සඳහා අයත් වාහන අතර යතුරුපැදි 730ක්, ලොරි 258ක්, ත්‍රිරෝද රථ 209ක්, පුද්ගලික බස් රථ 146ක්, කාර් 135ක්, වෑන් 118ක්, කැබ් 55ක්, ජීප් 21ක්, පාපැදි 12ක්, බහාලුම් රථ 09ක්, බවුසර් රථ 6ක්, අත්ට්‍රැක්ටර් 5ක්."
"රිය අනතුරු සිදු කර පළාගිය සිද්ධිවලට අදාළ වාහන 42ක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා."
"මාර්ගයේ ගමන් ගැනීමේදී මහජනතාව වඩාත් ප්‍රවේසම්කාරී විය යුතුයි. වාහනවලට නොපෙනෙන ලෙස රාත්‍රී කාලයේදී කළු පැහැති ඇඳුම් ඇඳීම නිසා රියදුරන්ට නොපෙනුනු අවස්ථාත් වාර්තා වෙලා තිබෙනවා."