ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක නම් භාවිත කර රටටම කළ වංචාව

ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක නම් භාවිත කර රටටම කළ වංචාව

October 30, 2024   08:13 pm

රජයට අයවිය යුතු විශාල බද්දක් අහිමිකරමින් ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක වෙළෙඳනාම යොදාගෙන නීතිවිරෝධී අයුරින් අරක්කු නිෂ්පානය කර ඇසුරුම් කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරක් ලැබුණි.

දඹදෙණිය, මුතුගල ප්‍රදේශයේ නිවසක එම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන බවට ලද එම තොරතුරකට අනුව කුලියාපිටිය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අප ඒ පිළිබඳ සොයාබැලීය.

එහීදී දැකගත හැකිවුණේ අදාළ මත්පැන් සමාගම් දෙකෙහි පෙට්ටි, ලේබල් හා මූඩි විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ ඇති බවය. 

එමෙන්ම බලපත්‍රලාභී මත්පැන් ශාලා සඳහා ලබාදෙන විශේෂිත වූ බිල්පත් මෙන්ම මත්පැන්වල සැර පරීක්‍ෂා කරන උපකරණ හා සම්මත මිණුම් උපකරණ ආදිය ද එහි තිබෙන අයුරු දැකගත හැකි විය. 

අනතුරුව කුලියාපිටිය සුරාබදු නිලධාරීන් එක්ව එම නිවස වටලනු ලැබීය. 

එහිදී දිවයිනේ සුරාබදු පරීක්‍ෂකවරුන් 14 දෙනෙකුට අයත් ව්‍යාජ මුද්‍රා කිහිපයක්, නීතිවිරෝධීව සකස් කළ බදු ස්ටිකර් රෝල් තොගයක් සහ මත්පැන් බෝතල් සීල් කිරීමට භාවිත කරන යන්ත්‍රයක් ද මෙහිදී විමර්ශන නිලධාරීන් සොයාගත්තේය.

අනතුරුව සුරාබදු නිලධාරීන් එම නිවසේ හිමිකරුව ද අත්අඩංගුවට ගෙන තිබුණි.