ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජනපතිව හමුවෙයි
October 2, 2024 04:20 pm
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනමා තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති Sir Keir Starmer මහතාගේ පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදි.
සෘජු විදේශ ආයෝජන (FDIs) ආකර්ශනය කරගැනීමේ ශ්‍රී ලංකාවේ ප්රයත්නයන් සඳහා බ්‍රිතාන්‍ය රජයේ නොමඳ සහයෝගය ලබාදීම පිළිබඳව සහ අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ද බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.