හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

September 28, 2024   07:06 am

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අද (28) අලුයම අභාවප්‍රාප්ත විය. 

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.

ප්‍රකට ව්‍යාපාරික S .A. වෙල්ගම සහ බියට්‍රිස් වෙල්ගම කුමාර වෙල්ගම මහතාගේ මව්පියන් ය.

1950 අප්‍රේල 05 වනදා කුමාර වෙල්ගම මහතා උපත ලබන්නේ  වැල්ලවත්ත ප්‍රදේශයේදී ය. 

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලබන ඔහු යටදොල ශාන්ත ජෝර්ජ් වතුයායේ වතු කළමනාකරණය හදාරමින් වැවිලිකරුවකු සහ ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කර තිබේ.

ඔහු සිය දේශපාලන දිවිය ආරම්භ කරන්නේ 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පත්වීම ලබා අගලවත්ත ආසන සංවිධායක බවට පත්වෙමිනි.

1994 මන්ත්‍රී වරම් දිනාගමින් පාර්ලිමේන්තුවට පිවිසෙන වෙල්ගම මහතා මිය යන තෙක්ම අඛණ්ඩව වසර 30ක් අපරාජිත මන්ත්‍රීවරයකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට සමත්වුණි.

වසර 42ක දේශපාලන දිවිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරනු ලැබීය. 

2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග කඳවුරු බැඳගත් වෙල්ගම මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සමගි ජන බලවේගය යටතේ තරග කරමිනි.

පසුව ඉන් ඉවත්වී 2021දී නව ලංකා නිදහස් පක්ෂ පිහිටුවමින් එහි නායකයා බවටද පත්වුණි.

වෙල්ගම මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

"කළුගන්තොට සිංහයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වාදුන් කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලාංකේය දේශාපාලනය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වූයේ ජනතාවාදී නායකයෙකු ලෙසය.

පසුගිය අරගල සමයේදී කොට්ටාව මාකුඹුර අධිවේගි පිවිසුම අසලදී පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ ඔහු දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය. 

එතැන් පටන් සක්‍රීයව දේශපාලනයේ නොයෙදුණු ඔහු වරින්වර අසනීප තත්ත්වයෙන් පසුවූ අතර ඔහු අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දිවියට සමු දී තිබුණි.