
මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙයි.
2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි.
භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශයේ දැක්විය.
අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි.
එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ.
ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ.
වසරකට අධික කාලයක් නඩුව විභාග වූ අතර ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකෙරෙයි.

















































