සීගිරියේදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක්

සීගිරියේදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක්

August 14, 2024   04:22 pm

සීගිරිය සිංහපාදය අසල දී සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමත් සමග සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.

අද (14) පස්වරුවේ එල්ල වී ඇති බඹර ප්‍රහාරයෙන් විදෙස් සංචාරයකයින් 26 දෙනෙකු මෙන්ම දේශීය සංචාරකයින් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා සීගිරිය ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇත.

බඹරුන් ඇවිස්සීමට මේ දිනවල පවතින අධික අව් රශ්මිය සහ අධික සංචාරකයින්ගේ පැමිණීම හේතුව වන්නට ඇතැයි සංචාරක මග පෙන්වන්නන් සැක පළ කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් පවසන්නේ බඹරුන් ඇවිස්සුණු අවස්ථාවේ දී සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබූ නමුත් ඇතුළුවීමට නොහැකි වූ පිරිසගේ මුදල් නැවත ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවය. 

කෙසේ වෙතත් බඹරුන්ගේ සන්සුන්භාවය ඇතිවූ විගස සීගිරිය සංචාරකයන්ට නැවත  විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු පවසයි.

තවද බඹරුන් පළවා හැරීම සඳහා ජලවාශ්ප විදින ක්‍රමවේදයක් මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බව ද ඔහු පවසයි.