ගජමුතු අලෙවි කිරීමට ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

ගජමුතු අලෙවි කිරීමට ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

August 8, 2024   03:53 pm

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට විකිණීමට ගිය ගජමුතු තුනක් සමග තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුත්තලම, බෝධීරාජපුර, අට්ටවිල්ලුව හා වනාතවිල්ලුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 24, 32, 40 යන වයස් සීමාවල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.

ගුවන් හමුදා උපායදූතයින් යොදවා අදාළ ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් මෙම ජාවාරම හසුකරගැනීමට එම නිලධාරීන් සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විදේශ රටවලින් රුපලාවන්‍ය උපකරණ ආනයනය කරනු ලබන්නෙකි.

ඔහුට මෙම ගජමුතු ලබාදී ඇත්තේ වනාතවිල්ලුවේ සිටින ඥාතියෙකු වන බවත්, ඔහු උපදෙස් දී ඇත්තේ අදාළ ගජමුතු රුපියල් කෝටි පහකට අලෙවි කර,  ඔහුට කෝටි දෙකක් ලබා දී ඉතිරි මුදල් බෙදා ගන්නා ලෙස බව එම පුද්ගලයා පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.