සනත් කිව්ව දේ අකුරටම තේරුම් ගත් දුනිත්
August 3, 2024 01:21 pm
පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පැවසීය.
ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ,
"මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක් කැපෙයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ප්ලෑන් එකක් දාගෙන හිටියේ... කොහොමද සෙල්ලං කරන්න ඕනේ කියලා. තවත් දෙයක් තමයි... මම ගොඩක් බලන් හිටියා පැතුම් නිස්සංක බැට් කරනවා. එයා බැට් කරන විදියෙනුත් මම දේවල් ඔළුවට දාගත්තා. ඒවා අනුව තමයි ප්ලෑන් එකකට ආවේ."
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකරදෙමින් ජය පරාජයෙන් තොරව ඊයේ (02) අවසන් කෙරුණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති එක්දින තරගාවලි ඉතිහාසයේ ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙවැනි එක්දින තරගය මෙය වෙයි.
ඊයේ තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස්කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස් කළේය.
ලකුණු 231ක ජයග්රාහි ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණි.
දෙරට අතර දෙවන එක්දින තරගය හෙට (04) පැවැත්වීමට නියමිතය.