විදෙස් රැකියා වංචා සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

විදෙස් රැකියා වංචා සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

August 1, 2024   04:17 pm

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 24කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කාන්තාව විසින් කඳාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත. 

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව අද (01) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණි. 

එමෙන්ම සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (31) එම ස්ථානය වටලා තිබේ.

එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11ක් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි. 

අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය අද (01) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු. 1,452,000.00 ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුද ඊයේ (31) දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුව 
ඊයේ (31) දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන අද (01) දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරීමට නියමිතව තිබුණි.