අම්බානි පුතුගේ විවාහයේ වාර්තා පිට වාර්තා
July 13, 2024 12:59 pm
යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහය ලෙස වාර්තා වන ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර තෙදින විවාහ මංගල උත්සවය මුම්බායි හිදී පැවැත් වෙයි.
ඒ හොලිවුඩ්, බොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ගේ ද සහභාගිත්වයෙනි.
ආනන්ත් - රාධිකා විවාහයට ඉන්දීය රුපියල් කෝටි 5,000 ඉක්මවූ මුදලක් වැය වී ඇති අතර එය මුකේෂ් අම්බානිගේ පූර්ණ වත්කමෙන් සියයට 0.5ක් පමණක් වන බව වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් බිලියන 115ක වත්කමක් ඇතැයි සැලකෙන ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගල්‍ය ලොව පුරා අවධානය දිනා ඇති විවාහ මංගල්‍යයකි.
ඊට සමගාමීව ප්‍රිය සම්භාෂණ ආරම්භ වුණේ පසුගිය මාර්තු මාසයේ ගුජරාට් හි පැවති දින තුනක පූර්ව විවාහ සැමරුමකිනි.
ඒ සඳහා දහස ඉක්මවූ ආරාධිතයින් පිරිසක් එක්ව සිටි අතර ඊට ලොව ප්‍රමුඛ පෙළේ කලාකරුවන් දේශපාලනඥයින් මෙන්ම මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් එක්විය.
එම අවස්ථාවට ලෝක ප්‍රකට ගායිකා රියාන ද එක්වී තිබුණේ, ඩොලර් මිලියන 7ක මුදලකටය.
ජූනි මාසයේ දී අම්බානි පවුල තවත් පූර්ව විවාහයක් සංවිධාන කළේ ඉතාලියේ සිට ප්‍රංශය දක්වා යාත්‍රා කළ සුඛෝපභෝගී නෞකාවකදීය.
යුවළගේ සංගීත ප්‍රසංගය පසුගිය සතියේ දී කැනේඩියානු ගායන ශිල්පී ජස්ටින් බීබර් ඇතුළු සුපිරි තාරකා රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
මාර්තු මාසයේ ඇරඹි ප්‍රිය සම්භාෂණ අවසන් වන්නේ දින තුනක් පැවැත්වෙන මහා මංගල්‍ය උත්සවයකිනි.
හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව දින යොදාගත් අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී එනම් ඊයේ (12) ශුබ් විවාහ එනම් විවාහ චාරිත්‍ර ඉටුකෙරුණි.
මුම්බායි හි ජියෝ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී සම්භාෂණය පැවැත්වුණේ බොලිවුඩ් සිනමාවේ සෑම සිනමා තරුවකගේම සහභාගීත්වයෙනි.
අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිළියක්ද වන කිම් කාර්ඩෂියන් ද එයට එක්වී තිබේ.
බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන් වෙන ටොනි බ්ලෙයාර් සහ බොරිස් ජොන්ස්න් ද මංගල්‍යයට ආරාධනා ලැබූ පිරිස අතරට අයත් ය.
ලෝක ප්‍රකට රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා ද ආනන්ත් - රාධිකා විවාහ මංගල්‍යයට එක්විය.
ෆිෆා සභාපති ගෙයානි ඉන්ෆන්ටීනෝ ද ආරාධනා ලැබ සිටියේය.
නයිජීරියානු ගායකයෙකු මෙන්ම රැප් සංගීත රචකයෙකු වන රෙමා ද විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ අතර ඔහුගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 3 ඉක්මවූ මුදලක් අය කර තිබේ.
එය වාර්තා අතරට එක්වන්නේ අප්‍රිකානු ගායකයෙකු උත්සව අවස්ථාවක දී ගායනය සඳහා අය කළ ඉහළම මුදල ලෙසටය.
යුගයේ වඩාත්ම පිරිවැයක් දැරූ විවාහ මංගල්‍ය උත්සවය ලෙස වාර්තා අතරට එක්වන ආනන්ත් - රාධිකා විවාහ මංගල්‍යයට නාමල් රාජපක්ෂ සහ මහේල ජයවර්ධන යන මහත්වරුන්ද එක්වී සිටියේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විවාහයට ආරාධනා ලැබූ දෙස් විදෙස් ආරාධිතයින්ට උත්සව අවස්ථාවට එක්වීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් අම්බානි පවුල ෆැල්කන් ටූ තවුසන්ඩ් ජෙට් යානා තුනක් කුලියට ගෙන ඇති බවය.
එමෙන්ම විවාහ උත්සවයට සමගාමීව අම්බානි පවුල ඉන්දීය සංස්කෘතික උරුමය පිළිඹිබු වන අයුරින් ජාම්නගර්හි දේවස්ථාන 14ක් ඉදිකිරීම වෙනුවෙන් ද සිය ධනය වැය කර තිබේ.
ඉන්දියාවේ අඩු ආදායම්ලාභී යුවළ 50ක් වෙනුවෙන් සමූහ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමටත් ගෙවුණු සතියේදී අම්බානි පවුල පියවර ගත්තේය.
මේ අතර විවාහ මංගල්‍යයට සමගාමීව ඉන්දීය සාමාන්‍ය ජනතාවට දින 40ක කාලයක් පුරා ආහාර ලබා දීමටත් අම්බානි පවුළ පියවර ගෙන තිබුණි.
එහිදී දෛනිකව 9,000ක පමණ පිරිසකට ආහාර සැපයෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනන්ත් - රාධිකා තෙදින විවාහ මංගල්‍ය අවසන් දිනය වෙන හෙට දිනයේදී විවාහ සම්භාෂණය පැවැත්වීමට නියමිතය.