අධිකරණ ඇමතිට අධිකරණ සේවා සංගමයේ විරෝධය
June 25, 2024 06:46 am
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්ව ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ , පසුගිය 19 වන දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර දී අධිකරණ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්ක ගත ව්‍යාපෘතියක කොටසක් වශයෙන් දිග හැරෙමින් පවතින බවය.
එම විවේචන අසත්‍යයෙන් සත්‍ය වෙන්කර නොගෙන අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අදාළ අධිකරණ නීත්‍යානුකූලව ලබාදුන් තීන්දු සහ නියෝගවලින් අතෘප්තියට පත්වීම මත සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව අධිකරණ සේවා සංගමය පවසයි.
පාර්ලිමේන්තු සභාව තුළ දී අධිකරණ පද්ධතිය හෑල්ලු වන ප්‍රකාශ සිදුකිරීමෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිකිරීමට හේතුවිය හැකි බවත් එවැනි තත්ත්වයන් කොන්දේසි විරහිතව පරාජය කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි.
අධිකරණ පද්ධතියේ යහපැවැත්ම උදෙසා වැදගත් තීරණ ගනු ලබන විනිශ්චයකාරවරුන් ස්ථාන මරුවී ගිය පසු ඔවුන්ට පෞද්ගලිකව අපකීර්තියක් ඇතිවන මතවාද නිර්මාණය කිරීම එහි එක් පියවරක් ලෙස සිදුවෙමින් පවතින බව අධිකරණ සේවා සංගමය පවසයි.
එහි අවසාන අරමුණ විනිශ්චයකාරවරුන් නිර්භීතව සහ අපක්ෂපාතීව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීම වළක්වා බාහිර බලවේගවලට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි දුර්වල තත්ත්වයකට පත්කිරීම බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අධිකරණ සේවා සංගමය දිසා විනිසුරුවරුන්ගෙන් සහ මහෙස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත වේ.