කෝටි 18ක මහල් නිවසක් දන්දුන් බුද්ධ පුත්‍රයෙක්

කෝටි 18ක මහල් නිවසක් දන්දුන් බුද්ධ පුත්‍රයෙක්

June 21, 2024   08:30 pm

බුද්ධ කාලීනව භාරතයේ විසූ ජීවක වෙදදුරු ගිලනුන්ට උපස්ථාන කරමින් සමාජය සුවපත් කිරීමට කැප වූ ආකාරය අප ඉතිහාසය තුළ අසා තිබේ.

එවැනි වෙදදුරෙකු නොවුන ද, ගිලනුන්ට උපස්ථාන කිරීම උදෙසා උතුම් වූ මෙහෙවරක් සිදුකරන බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ කතාවක් මේ උතුම් පෝ දිනයේ අපට අසන්නට ලැබුණි.  

"ආරෝග්‍ය පරමා ලාභා" බුද්ධ ඉගැන්වීමට අනුව නිරෝගිකම උතුම්ම ලාභයයි.

ඒ නිසාම මිනිසුන් තමන්ට නිරෝගි දිවියක් උරුම කරගැනීමට බොහෝ සෙයින් කැපවී කටයුතු කරයි.

ඒ අතරේ ඉතාම සුළු පිරිසක් අනෙකාට නිරෝගි දිවි පෙවෙතක් උරුම කරදීමට තමන් සතු දෑ කැපකරමින් වෙහෙසී කටයුතු කරයි.

මේ එවැනි පරාර්ථකාමි සිතුවිල්ලක් ඔස්සේ බිහිවූ මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණයි.

බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද මෙම ගොඩනැගිල්ලේ තරු පන්තියේ හෝටලයක පෙනුම සහ පහසුකම් තිබුණද මෙය සැබවින්ද ගිලනුන්ට උපස්ථාන කිරීම වෙනුවෙන් බිහිකළ ආයතනයකි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පිළිකා රෝගීන්ට, වකුගඩු රෝගීන්ට සහ හදවත් රෝගීන්ට එම රෝගයට ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ නවාතැන් පහසුකම් හා ආහාරපාන නොමිලේ සැපයීම මේ ඔස්සේ සිදු වේ. 

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කහඳ අමරබුද්ධි හිමියන්ගේ සංකල්පයකට අනුව 2017 වසරේ මෙම සුව සෙවණ ඉදිකර ඇත්තේ රුපියල් කෝටි 18ක් පමණ වැය කරමිනි. 

එහිදි උන්වහන්සේට හිතවත් අමෙරිකාවේ වැසෙන දායකයින් කිහිපදෙනෙකු මූල්‍යමය දායකත්වය සපයා තිබේ. 

රෝහලට බාහිරින් නැවති සිට ප්‍රතිකාර ලබාගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු විසින් සිදුකළ නිර්දේශයක් ඇති ඕනෑම අයෙකුට මෙහි නේවාසිකව රැඳීසිට කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවතී.

එහි රැඳී සිටින රෝගින් පවසන්නේ වෙනදා දුර බැහැර සිට දෛනිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තමන්ට මෙලෙස නොමිලේ පහසුකම් සපයාදීම උතුම් වූ පිංකමක් බවය.

කරාපිටිය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගින්ට ලබාදෙන සේවාවන්ට අමතරව මෙම සුව සෙවණ පරිශ්‍රය තුළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පාසලක්ද ක්‍රියාත්මක වේ.

ශාසනික මෙහෙවරින් ඔබ්බට ගොස් සමාජීය මෙහෙවරකටද මුල් වී සිටින මෙවන් භික්ෂුන් වහන්සේ මුළු මහත් සමාජයටම ආදර්ශයකි.