වතුර නැතිකළ පිපිරීම - CCTV දර්ශන එළියට

වතුර නැතිකළ පිපිරීම - CCTV දර්ශන එළියට

June 17, 2024   06:48 pm

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළය අද (17) අලුයම සිදුවු අනතුරකින් පුපුරා ගිය අතර එම අනතුර සිදුවන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.

අනතුරින් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වුණි.

එම නළය පුපුරා ගියේ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් අද අලුයම 2ට පමණ එහි ගැටී සිදුවූ අනතුරකින් ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ, ජල සැපයුම අද මධ්‍යම රාත්‍රිය වන විට යථාතත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවය.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී නළයේ ගැටී පෙරළී ගොස් ඇති බවය.

අනතුර සමග යාබඳව පිහිටි විදුලි රැහැන් කණු දෙකක්ද ජල පහරේ වේගයට කඩාවැටෙනු දක්නට ලැබිණි.

සිදුවූ ජල කාන්දුව නිසා කලටුවාවේ සිට අදාළ නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද උදෑසන පියවර ගත්තේය.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අද අලුයම සිට අඩාල වුණි.

මේ අතර අනතුරට ලක්වූ මෝටර් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු සුළු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.