අවුරුදු 11 දී පවුල් බර කරට ගත් පුංචි රවිඳු
June 10, 2024 01:26 pm
පුංචි දරුවන්ගේ ලෝකය පිරිලා තියෙන්නේ හීනවලින්... හොඳට ඉගෙන ගන්න යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න නිදහසේ ජීවත්වෙන්න පුංචි දරුවෝ නින්දෙදිත් හීන දකිනවා...
ඒත්, ඒ හීන සියල්ල අතහැර පවුලක සියලු වගකීම් කරට ගන්න වයස අවුරුදු 11ක දරුවෙක්ට සිදුවුණොත් ඒ පිළිබඳව ඔබට හිතාගන්නටවත් පුළුවන්ද?
මේ එහෙම දරුවෙක් ගැන කියවෙන කතා පුවතක්.
රවිඳුට දැන් අවුරුදු 11යි. පොතක් පතක් අතට ගන්න, දුවලා පැනලා සෙල්ලම් කරන්න ඕන වයසේ පුංචි රවිදුට සිදුවන්නේ අම්මෙක්ගේ වගකීම කරට ගන්න.
රවිදුගේ මිතුරන් අම්මා තාත්තාගේ අතින් බත්කටක් කවා ගනිද්දි,මේ පුංචි පුතුට සිදුවෙලා තියෙන්නේ තමන්ගේ දෑතින් පිසූ කෑම ටික අම්මටයි තාත්තටයි කවන්න.
ගාල්ල බෝගහගොඩ විලේවත්ත ප්‍රදේශයේ පදිංචි රවිඳු ප්‍රභාත් පුතුගේ පියා ගසකින් ඇද වැටී ශුසුම්නාවට හානිවීමෙන් වසර ගණනාවක් ඉන්නේ එක්තැන්වෙලා.
මේ කතාව තවත් ඛේදනීයවන්නේ රවිදුගේ මවගේ රෝගී තත්ත්වය නිසයි.
ඇය මේවන විටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, පාදයේ තුවාලයක් හේතුවෙන් ඇතිවූ සංකූලතාවයකින් ඇගේ එක් පාදයක කොටසක් මීට දින කිහපයකට පෙර ඉවත් කෙරුණි.
අදවන විට පවුලේ සියලුබර පැවරී ඇත්තේ මේ රවිඳු පුතුටයි.
සියලු අභියෝග මැද ගාල්ල බෝගහගොඩ දොරපේ මහා විද්‍යාලයට අකුරු කරන්නට යන්නත් මේ පුතු අමතක කරන්නේ නැහැ
මාපියන්ට උපස්ථානත් කරමින් නිවසේ සිට කිලෝ මීටර් 3ක් දුර පාගමින් පාසල් යන මේ පුතුගේ අපරිමිත කැපවීම දුටු කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් රවිඳු පුතුට පාපැදියක්ද තිළිණ කර තිබේ.
මූලික පහසුකමක්වත් නොමැතිව වැස්සට තෙමෙන අව්වට රත්වෙන මේ නිවහන වෙනුවට නව නිවසක් වගේම අකුරු කරන්නට විදුලි ආලෝකයක් ලැබෙනවා නම් එය මේ දිරිය පුතුගේ අනාගතයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
රවිඳුගේ පියා - 075 288 7042