පාලමේ ගැටී ඇත්තේ ශ්‍රී ලංකාවට එමින් සිටි නැවක්
March 26, 2024 02:50 pm
අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමේ ගැටී ඇත්තේ ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.
ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.
පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මුලදී වාර්තා වී නොතිබුණද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව ද වාර්තා විය.
යාවත්කාලීන කිරීම - 03.20
මේ අතර බැල්ටිමෝ ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ බොහෝ දෙනෙක් ගඟට වැටී ඇතැයි අනුමාන කරන බවයි.
මෝටර් රථ 7ක් පමණ ජලයට වැටී ඇති බවට සහන කණ්ඩායම් පවසන බවත් 20 දෙනෙකු පමණ අනතුරට ලක්වී ඇති බවත් සැලකෙයි.
බැල්ටිමෝ වරාය අමෙරිකාවේ කාර්යබහුලම වරායකි. මේ වනවිට වරාය අසල තදබදයක් වර්ධනය වෙමින් තිබෙන බවද සඳහන් ය.