පොලීසියේ වෙනසක් කළ ලීලා ගුණරත්න
March 8, 2024 01:40 pm
ජාත්‍යන්තර කාන්තා දිනය වන අද, සුවිශේෂී කාන්තාවක් පිළිබඳව අද දෙරණට වාර්තා වුණි.
ඇය ශ්‍රී ලංකා කාන්තා පොලිස් පළමු කණ්ඩායමේ සාමාජිකාවක වූ පොලිස් කොස්තාපල්වරියක වූ ලීලා ගුණරත්න මහත්මියයි.
1866දී පිරිමි නිලධාරීන්ගෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා පොලීසියට කාන්තා නිලධාරිනියන්ගේ අවශ්‍යතාව දැනෙන්නේ දශක අටක් පමණ ඉක්ම ගිය පසුවය.
ඒ අනුව 1953දී කාන්තා පොලිස් නිලධාරිනියන් පොලිස් සේවයට අවශ්‍යද යන්න අත්හදා බැලීමට නිලධාරිනියන් සිව් දෙනෙකු බඳවා ගැනුණි.
එහි සාර්ථකත්වයත් සමගම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීම ඇරඹුණු මුල් කාලයේදීම සේවයට එක්වූ පොලිස් කොස්තාපල්වරියක් මේ වනවිට වේයන්ගොඩ තල්ගස්මොටේ ගම්මානයේ සිය සැඳෑ සමය ගෙවමින් සිටින්නීය.
ඇය ලීලා ගුණරත්නයි.
1935 වසරේ උපත ලැබූ ලීලා ගුණරත්න මහත්මිය සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දියණියකි.
වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ලංකා පොලීසියේ පළමු දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවකද වූවාය.
ලීලා මහත්මියගේ පළමු රාජකාරී ස්ථානය වූයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයයි.
එහි කෙටි කලක් සේවය කළ පසු ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ රාජකාරි කළාය.
1976 පැවති පස්වන නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ රාජකාරිවල නිරත වීමද ඇය සිය රාජකාරී දිවියේ ලැබූ භාග්‍යයකි.
කෙසේවෙතත් ප්‍රමාණවත් පොලිස් නිලධාරිනියන් පිරිසක් නොසිටීම හේතුවෙන් කොස්තාපල් ධුරයේ සිට සැරයන් ධුරය දක්වා උසස්වීමක් ලැබීම සඳහා වසර විස්සක් බලා සිටීමටත් ලීලා මහත්මියට සිදුවුණි.
පොලිස් රථවාහන අංශයේ කාන්තා නිලධාරිනියක් ලෙසත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරක්ෂක නිලධාරියක ලෙසත් ඇය රාජකාරිවලට එක්වී තිබුණි.
පොලිස් නිලධාරීන් සමග දශක 4ක් පුරා කරට කර සේවය කළ ලීලා මහත්මිය සිය සේවයට සමුදෙන්නේ 1996 වසරේදී ය.
ඇය විශ්‍රාම යන විට වෙරලබඩ පොලීසියේ ස්ථානාධිපතිනියයි.
දරුවන් 5 දෙනෙකු මෙලොවට බිහිකළ ලීලා මහත්මිය ඉන් පුතුන් දෙදෙනෙකු ආරක්ෂක අංශ වෙත යොමුකරන්නේ ද තම මාතෘභූමිය සුරැකීමෙහිලා ඇති කැපවීම ප්‍රදර්ශනය කරමිනි.
දශක හතරක් පුරා මෙරට සිවිල් පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දිරිය මාතාව කැපවී තිබුණි.