ත්‍රිරෝද රථ ඉස්සූ උඩහමුල්ලේ රෝයි අත්අඩංගුවට 

ත්‍රිරෝද රථ ඉස්සූ උඩහමුල්ලේ රෝයි අත්අඩංගුවට 

March 7, 2024   11:48 am

අන් අයෙකු ලෙස පෙනී සිටීමේ වරදට වසර දෙකහමාරක දඬුවමක් ලැබ, මසක් ගතවෙද්දී බන්ධනාගාරයෙන් පැන ගොස් කොට්ටාව නගරයේදී ත්‍රිරෝද රථයක් සොරාගෙන පළාගිය පුද්ගලයෙකු සොරාගත් ත්‍රිරෝද රථය සහ හෙරොයින්  ග්‍රෑම් දහයක් සමඟ ඊයේ (06) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි "රෝයි" නැමැති පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

කොට්ටාව හොරණ පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් අසල ඉකුත් 27 වනදා සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් නැරඹීමට පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ මිතුරන් පිරිසක් පැමිණ රථගාලක ත්‍රිරෝද රථය නවතා ප්‍රසංගය පවත්වන ස්ථානයට යද්දී කිසියම් අයෙකු ඔහුගේ ත්‍රිරෝද රථය සොරාගෙන ගිය බවට කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරමින් සිටියදී කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ නිවසකට සැක කටයුතු ලෙස පැමිණි පුද්ගලයෙකු  ත්‍රිරෝද රථයක කොටස් ගලවා විකිණීමට යන බවට කොට්ටාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට පෞද්ගලික ඔත්තුකරුවකු හරහා තොරතුරක් ලැබී තිබුණි.

 ඒ අනුව පොලිස් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම ත්‍රිරෝද රථය කොට්ටාව සංගීත ප්‍රසංගය අසලදී සොරා ගත් ත්‍රිරෝද රථය බවට තොරතුරු අනාවරණ වී තිබේ.

ඒ අනුව ත්‍රීරෝද රථය එහි සිටි රියැදුරු සමග අත්අඩංගුවට ගෙන සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දහයක් බාරයට ගත් බව පොලීසිය කියයි.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මරදාන, මිරිහාන හා මහරගම පොලිස් වසම්වලින් ත්‍රිරෝද රථ තුනක් සහ යතුරුපැදියක් සොරාගැනීමේ සිද්ධීන් හතරකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටියදී වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමේ වරදට වසර දෙක හමාරක සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව මසක් ගත වෙද්දි ඉකුත් 26 වනදා  බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයකු බවට තොරතුරක් අනාවරණ වුණි.