විරෝධතාකරුවන් 13ක් නිදොස් කොට නිදහස්
March 5, 2024 08:20 pm
2022 මැයි මස 04 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කථානායකවරයාට ලිපියක් බාරදීමට ගොස් විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.
ඉකුත් අරගල සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.
සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත පොලීසිය මගින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.
වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර එහි අවසන් තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.