රූමස්සල බොනවිස්ටා කොරල්පරය රකින්න පෙරට ආ සිංහයෝ

රූමස්සල බොනවිස්ටා කොරල්පරය රකින්න පෙරට ආ සිංහයෝ

February 29, 2024   03:28 pm

රූමස්සල , බොනවිස්ටා කොරල්පරය පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය දා පැවැත්වුණි.

ඒ දිස්ත්‍රික් 306 A2 බොරලැස්ගමුව බිස්නස් සර්කල් සිංහ සමාජයේ මුලිකත්වයෙනි.

කොරල්පර දිය යට පිහිටා ඇති අලංකාර භූ දර්ශනයක් පමණක් නොවේ. සාගර සත්ව විශේෂ ගණනාවකට තීරණාත්මක වාසස්ථාන සහ ආරක්ෂාව ලබාදෙන කොරල්පර සංචාරක ව්‍යාපාරය තුළින් දේශීය ආර්ථිකයට ද වැඩි දායකත්වයක් සපයයි.

එපමණක් නොවේ, වෙරළ ඛාදනය හා කුණාටුවලට එරෙහිව ස්වභාවික බාධකයක් ලෙසත් පවතී.

අවාසනාවකට මෙන් අද වනවිට මෙම ස්වභාවික පරිසර පද්ධතිය දැඩි අවදානමකට ලක්ව තිබීම කනගාටුවට කරුණකි.

2016 වසරේ දී එල්නිනෝ සංසිද්ධිය සමග උණුසුම් දියවැල් මඟින් ඇති වූ අහිතකර බලපෑම් හේතුවෙන් ලොව පුරා කොරල්පර දැඩි ලෙස විනාශයට පත්වුණි.

මේ හේතුව නිසාවෙන් රූමස්සල බොනවිසටා කොරල්පරය ද ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් බොරලැස්ගමුව බිස්නස් සර්කල් සිංහ සමාජය විසින් පසුගිය වසරේ පෙබරවාරි 25 වන දින ආරම්භ කළේය.

පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුබෑමකට ලක්වූ එම ව්‍යාපෘතිය නැවතත් මේ වසරේ පෙබරවාරි මස 22 වනදා අනාගත පරපුර වෙනුවෙන් සක්‍රීයව සිදුකිරීමට බොරලැස්ගමුව බිස්නස් සර්කල් සිංහ සමාජය මුල පිරුවේය.

මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් වන්නේ කුඩා කොන්ක්‍රීට් තහඩු සහ රීෆ් බෝල් යනුවෙන් හඳුන්වන කෘතිමව නිර්මාණය කළ උපස්තරයයි.

එම කෘතිම උපස්ථර කොරල් ජනපද වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයන අතර ඔවුන්ගේ දිගුකාලීන ශක්‍යතාවය සහතික කරයි.

රීෆ් බෝල් ව්‍යුහයක් කිලෝග්‍රෑම් 250 - 300ක බරකින් යුක්ත වන අතර, ඔරොත්තු දීමේ හැකියාව සහ වාසස්ථාන විවිධත්වය ඉහළ නැංවීමේ හැකියාවකින් යුක්තය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලූම තාක්ෂණික ‍උපදෙස් වනජීවි සහ සාගර සම්පත් සංරක්ෂණ සංගමය විසින් ලබා දී තිබේ.

ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය බොන්ඩ්විල් පුද්ගලික සමාගම විසින් ලබාදී ඇති අතර, 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව, හිටපු සිංහාධිපති තුෂාර පීරිස්, බොන්ඩ්විල් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ පහන් විතානගේ, අධ්‍යක්ෂිකා නිල්මිනි දසනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.