බීඩිකොළ සමඟ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට

බීඩිකොළ සමඟ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට

February 24, 2024   01:32 pm

ඉන්දියාවේ සිට නීති විරෝධී ව ඩිංගි යාත්‍රාවක් මඟින් බීඩි කොළ තොගයක් රැගෙන එන බවට මීගමුව සුරාබදු කාර්යාලය වෙත තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව මීගමුව සුරාබදු කාර්යාලයේ කණ්ඩායමක් එක් ව පුත්තලමට ආසන්න මෙරට මුහුදු සීමාවේ දී පසුගිය මස 19 වැනි දා මෙහෙයුමක් සිදු කර තිබිණි.

එහි දී  ඩිංගි යාත්‍රාවක සිටි ඉන්දීය ජාතිකයන් 05 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි යාත්‍රාවේ තිබී බීඩි එතීමට ගන්නා තෙන්දු කොළ ඇසිරූ උර 75ක් හමු ව ඇත.

පසු ව නාවික හමුදාව සිය භාරයට ගත් සැකකරුවන් සහ තෙන්දු කොළ තොගය සුරාබදු දොපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බීඩී කොළ කිලෝග්‍රෑම් 2,175ක් එහි තිබී හමු වූ බවය.

එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 200කට අධික බව වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් ඉන්දියානු ජාතිකයන් සියලු දෙනා වයස අවුරුදු 20ට අඩු පුද්ගලයන් වන අතර, ඔවුන් ඉන්දියාවේ තූත්තුකුඩි සිට මෙරටට මුහුදු සීමාවට පැමිණ තිබිණි.

මීගමුව සුරාබදු කාර්යාලය මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.