සයුරෙන් එතෙර
ලෝකයම කලඹන රුසියාවේ චන්ද්‍රිකා නාශක අවි
February 21, 2024 03:00 pm
රුසියාව විසින් මේ වසරේ දී චන්ද්‍රිකා නාශක අවි අභ්‍යාවකාශයේ රැඳවීමට ඉඩ ඇති බවට අමෙරිකානු බුද්ධි සේවා මඟින් සිදු කළ අනාවරණයක් නිසා ලොව පුරා ආරක්ෂක ක්‍රමෝපාය අංශවල කැලඹීමක් ඇති වී තිබේ.
අභ්‍යවකාශයේ පෘථිවි කක්ෂයේ ස්ථානගත කෙරෙන එවැනි අවි මඟින් ඉමහත් විනාශයක් සිදු කළ හැකි බවට මත පළ වන අතර, එමඟින් මිනිසුන් නොව චන්ද්‍රිකා පමණක් ඉලක්ක කරගැනෙන බව තවත් පිරිසකගේ මතය වී ඇත.
පසුගිය 2022 වසර මුල දී රුසියාව විසින් සිදු කරන ලද රහසිගත චන්ද්‍රිකා කක්ෂගත කිරීම් පිළිබඳ අධ්‍යයනය කරමින් අමෙරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව විසින් පෘථිවිය වටා රඳවා ඇති චන්ද්‍රිකා දහස් ගණනක් විනාශ කළ හැකි අවියක් සංවර්ධනය කරමින් සිටින බවයි.
ඒ පිළිබඳ මේ අනාවරණය සිදු කර ඇත්තේ, අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මඟිනි.
න්‍යෂ්ටික හැකියාවන් සහිත එවැනි අවියක් මඟින් රටවල් සහ වාණිජමය ලෙස උඩුගුවනේ කක්ෂගත කර ඇති දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා විනාශ කළ හැකි අතර, සිතියම්ගත කිරීම්වල සිට අන්තර්ජාල සහ ජංගම දුරකථන සම්බන්ධතා සඳහා යොදාගන්නා චන්ද්‍රිකා ද ඊට ඇතුළත් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.
රුසියාව න්‍යෂ්ටික නාශක අවියක් සංවර්ධනය කර ඇති බව අමෙරිකාවේ බයිඩ්න් පරිපාලනය මඟින් තහවුරු කර ඇතැයි බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කළ අතර, ඒ සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රසයේ බුද්ධි අංශ කමිටුවේ ද අවධානයට ලක් විය.
බ්ලූම්බර්ග් වැඩිදුරටත් වාර්තා කළේ, රුසියාව විසින් මේ වසරේ දී එවැනි චන්ද්‍රිකා නාශක අවියක් හෝ එහි ආකෘතියක් උඩුගුවනට යැවීමට සැලසුම් කරන බවයි.
එමෙන්ම අමෙරිකානු බලධාරීන්ගේ තවත් මතයක් වී තිබෙන්නේ, රුසියාව එවැනි චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලීම පිපිරවීමකින් තොර ව උඩු ගුවනට යැවීමට ඉඩ ඇති බවයි.
රුසියාවට එරෙහි සම්බාධක ඉහළ නැංවීමේ දී හෝ යුක්‍රේනයට ලබාදෙන යුද ආධාර ඉහළ නැංවීමේ දී බටහිර රටවලට තර්ජනය කිරීම සඳහා රුසියාව එවැනි අවියක් යොදාගත හැකි බව විශ්වාස කෙරේ.
පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකාවක තොරතුරු දත්ත විකෘති කිරීමට ආවරණය කිරීමට හෝ අක්‍රීය කිරීම සඳහා රුසියාව සිය නව අභ්‍යවකාශ අවිය යොදාගත හැකි බවටත් විශ්ලේෂකයෝ මත පළ කරති.
එලෙස අභ්‍යවකාශයේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම 1967 වසරේ ඒ සම්බන්ධයෙන් ඇති කරගත් ජගත් සංවිධාන සම්මුතියක් උල්ලංඝනය කිරීමක් ද වේ.
අභ්‍යවකාශයේ, චන්ද්‍රයාගේ හෝ වෙනත් අභ්‍යවකාශ වස්තුවක න්‍යෂ්ටික අවියක් හෝ සමූල ඝාතන අවි රැඳවීමට එරෙහි ව ඇතිකරගත් එම සම්මුතිය උල්ලංඝනය කිරීම සම්බාධකවලට ලක් විය හැකි කරුණකි.
කෙසේ නමුත් සිය ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු සමඟ ඊයේ සාකච්ඡාවක නිරත වූ රුසියානු ජනාධිපති පුටින් අභ්‍යවකාශයේ එලෙස න්‍යෂ්ටික අවි රැඳවීම සඳහා රුසියාවට සැලසුමක් නොමැති බව ප්‍රකාශ කළේ ය.
රුසියාවට එවැනි රහසිගත වැඩපිළිවෙළක් නොමැති බව ජනපති පුටින් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ බයිඩ්න් පරිපාලනය සිදු කළ ප්‍රකාශ දැඩි සේ හෙළා දකිමිනි.
එමෙන්ම එය දැන් කොංග්‍රස් මණ්ඩලයේ සිර වී ඇති යුක්‍රේන ආධාර පැකේජය අනුමත කරගැනීම සඳහා බයිඩ්න් පරිපාලනය යොදාගන්නා උපක්‍රමයක් විය හැකි යැයි ක්‍රෙම්ලින් මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කළේ ය.