කැරලි මර්දන කණ්ඩායම් ජාතික රෝහලට කැඳවයි
February 16, 2024 05:12 pm
කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සිය කාර්යාලයේ බලහත්කාරයෙන් රඳවා ඔහුට විරෝධය පළ කළේය.
ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ සේවකයින් සමබන්ධයෙන් අපහාසාත්මක ලෙස අදහස් පළකිරීමට එරෙහිවය.
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක්ව පසුගිය දිනවල සිදුකළ වැඩවර්ජන
සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවස්ථා රැසකදී දැඩි විවේචන එල්ල කළේය.
තමන්ට කළ අපහාසයට එරෙහිව කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් අද දහවල් කෛාළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
එළෙස විරෝධතාව සිදුකර පසුව එම පිරිස රෝහල තුළට ගොස් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ නිල කාමරය වටලා විරෝධය පළ කළේය.
තත්ත්වය පාලනයට පොලීසිය සහ කැරලි මර්දන ඒකකය කැඳවා තිබිණි.
පසුව පොලිස් ආරක්ෂාව මැද නියෝජ්‍ය අධ්යක්ෂවරයා එම ස්ථානයෙන් ඉවතට ගනු ලැබුවේය.
නමුත් කනිෂ්ඨ සේවකයන් පැවසුවේ එලෙස රැගෙන ගියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා නොව ඔහු ලෙස හැඟවෙන අනුරුවක් බවය.
එහිදී කනිෂ්ඨ සේවකයන් සහ පොලීසිය අතර ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයකි.
නොසන්සුන් තත්ත්වය පහව නොගිය පසුබිමක තත්ත්වය පාලනයට යුද හමුදාවද කැඳවනු ලැබීය.
කෙසේ වෙතත් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පස්වරුව වනතුරුත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය අසලින් ඉවත්ව ගියේ නැහැ.
මේ අතර පොලීසිය පවසන්නේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා අද පස්වරුවේ වෙනත් ස්ථානයකින් රෝහලෙන් පිටතට රැගෙන ගිය බවය.
අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියේය.
කෙසේ වෙතත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබූ පසුබිමක පොලීසිය තවත් අනුරුවක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී කනිෂ්ඨ සේවකයන් ඊට පහරදුන්නේ මෙලෙසිනි.
මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වහාම ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ යුතු බවය.