ලාංකේය දේශපාලකයා සිරගත කළ දුර්ලභ අවස්ථා

ලාංකේය දේශපාලකයා සිරගත කළ දුර්ලභ අවස්ථා

February 14, 2024   01:55 pm

නීතියේ ආධිපත්‍යය සහ අපි

රටක නීතියක් ඇත. යුක්තිය හා සාධාරණය කියා දෙයක් ඇත. වැරැදි කළ විට රටක පවත්නා නීතියට අනුව ඔහුට හෝ ඇයට දඬුවම් ලැබිය යුතු ය. සියල්ලට ඉහළින් ඇත්තේ නීතිය යි. පාලකයා, පාලිතයා ඇතුළු රාජ්‍යය තුළ පවතින අවශේෂ සියල්ලට ම වඩා නීතිය හා අධිකරණය උත්තරීතර වේ. 'නීතිය ඉදිරියේ සියල්ල සමාන වේ' යනුවෙන් අපි දේශපාලන විද්‍යාවේ දී උගත්තෙමු. ඒ. වී. ඩයිසි ගේ නීතියේ ආධිපත්‍ය සංකල්පය තුළ ඒ බව තවත් පුළුල් ව පැහැදිලි කර ඇත. නමුත් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් සිය රචනාවල දී සඳහන් කර ඇත්තේ, වෙනස් ම සංකල්පයකි. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වේ යන්න නිෂ්ප්‍රමාණ මත‍යක් බව ඔහු අවධාරණය කරයි. නීතිය නමැති මකුළු දැලට හසු වන කුඩා සතුන් එහි ගොදුරක් බවට පත් වන බවත් සවිමත් සත්ත්වයන් පමණක් මකුළු දැල ඉරා ඉන් මිදෙන බවත් කාල් මාක්ස් සඳහන් කළේ ය.

මාක්ස් ගේ පැහැදිලි කිරීම ඉදුරා යථාර්ථයක් බව ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් හඳුනාගත හැකි ය. ඒ පිළිබඳ පැහැදිලි කිරීමට පළමුව දියුණු යැයි සම්මත රාජ්‍යයන් තුළ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන සරල අදහසක් ඇති කර ගනිමු. මීට සති දෙකකට පමණ පෙර අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරට අධිකරණයකින් නියෝගයක් ලබා දුන්නේ ය. අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ.ජීන් කැරොල් හට අපහාස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට එරට අධිකරණය නියෝග කළේ ය. නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි ව මෙම අපහසාත්මක ප්‍රකාශය සිදු කර තිබූ බව සඳහන් ය.

ට්‍රම්ප් යනු, අමෙරිකාවේ සිටි බලවත්ම සහ විශාල ධනස්කන්ධයක් හිමි ප්‍රභූවරයෙකි. ඔහුට දඩ නියම වන්නේ, ලේඛිකාවකට අපහාස කිරීමේ චෝදනාවක් අධිකරණයේ දී ඔප්පු වීම හේතුවෙනි. කොටින්ම කියනවා නම්, පොත් ලියන කාන්තාවකට අපහාස කිරීම නිසා ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට සිදු විය. අමෙරිකානු නීතිය ඉදිරියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඊ.ජීන් කැරොල්ටත් ඇත්තේ සමාන අවස්ථාවකි. සමාන පුද්ගලයන් සහ සමාන ඉඩ ප්‍රස්ථා යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගය ආරක්ෂා කිරීමට අමෙරිකාව සමත් වී ඇත. ලෝක බලවතා වශයෙන් ජාත්‍යන්තර දේශපාලනය තුළ අමෙරිකාවේ ක්‍රියාවලිය පිළිබඳ අපට ඕනෑ තරම් විවේචන ඇති කළ හැක. විශේෂයෙන් තත් මොහොතේ පවතින ඊශ්‍රායල - පලස්තීන සහ රුසියා - යුක්රේන ගැටුම තුළින් උක්ත කාරණය මොනවට සාධනය කර ගත හැකි ය. ඒ කෙසේ වෙතත් රාජ්‍ය අභ්‍යන්තරය තුළ පුරවැසි අයිතිවාසිකම් දිවමතුරක් සේ ගෙන ආරක්ෂා කිරීමට අමෙරිකාව වග වී ඇත. 

2023 වර්ෂයේ ජූලි මස 24 වැනි දා බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ල වූ නවසීලන්ත අධිකරණ ඇමතිවරිය ඉල්ලා අස් විය.  නවසීලන්ත අධිකරණ අමාත්‍ය 39 හැවිරිදි කිරි ඇලන්, ‍රිය අනතුරෙන් පසු බීමත් බව පරීක්ෂා කරන ආශ්වාස ප්‍රාශ්වාස පරීක්ෂණය හරහා බීමතින් සිට ඇති බව තහවුරු විය. ඉනික්බිති පරීක්ෂණ නිමා වීමටත් පළමුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් විය. 

නවසීලන්ත හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ව ද අපට සිහිපත් කළ හැකි ය. ඇයට කිසිදු චෝදනාවක් නොමැති නමුත් ඇය සිය ධුරයට සමු දුන් ආකාරය ලෝකයේ ම අවධානයට පාත්‍ර විය. දෙවැනි වරට ද අග්‍රාමාත්‍ය ධුරයට තරග වැදීමට අවස්ථාව තිබිය දී එක් වරක් පමණක් ධුරය දරා සමු ගැනීමට ඇය තීරණය කළා ය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ, නවසීලන්තය තුළ කොවිඩ් පාලනය සඳහා ජසින්ඩා ආර්ඩන් අතිසාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ය. ඉන් ලද ප්‍රබල මහජන ප්‍රසාදය මෙන්ම සාර්ථක රාජ්‍ය පාලනයක් සිදු කිරීම හේතුවෙන් ඇයට දෙවැනි වර අග්‍රාමාත්‍ය ධුරයට පැමිණීම ඉතා පහසු කාරණයක් වන්නට තිබිණි. නමුත් ඒ සියල්ලට ම වඩා සිය පෞද්ගලික නිදහස වැදගත් කොට සැලකූ ඈ, සිය දරුවා සමඟ ජීවත් වීමට අවැසි බව කියමින් නවසීලන්තය නමැති විශිෂ්ට රාජ්‍යයේ විධායකය මොහොතකින් අත් හැර දැමීමට තීරණය කළා ය. අත්හැරීම නමැති සංකල්පය වචනාර්ථයෙන් භාවිත වුව ද ශ්‍රී ලංකාවට වඩා එහි ප්‍රායෝගික භාවිතාවන් ඇත්තේ, මෙවැනි රටවල නො වේ ද?

ඉහත උපුටා ඇත්තේ, ජාත්‍යන්තර දේශපාලනයට ඉතා සුලබ නමුත් අපට ඉතා දුලබ වූ සිදුවීම් ත්‍රිත්වයකි. එවැනි ඉල්ලා අස් වීම් හෝ පාලකයන්ට සෘජු ව නීතිය ක්‍රියාත්මක වීම් අප අත් දැක ඇත්තේ, අතළොස්සකටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉහත සඳහන් කළ සිදුවීම් කියවන විට ඒවා අප රට තුළ ක්‍රියාත්මක වීමක් ගැන සිතීම ම මුවට සිනහවක් නැඟෙන කාරණයක් වනු නොඅනුමාන ය. 
එසේ නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ හැකි නමුත් ඒවා ගෙන් අතිමහත් බහුතරයක් ම විකල්ප හෝ විපක්ෂ දේශපාලඥයන්ට ක්‍රියාත්මක වූ ඒවා ය. 

මිනිස්සු මැරෙන නිසා නේ ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාලා තියෙන්නේ
-සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී-

ළඟ පාත කාලයේ දේශපාලකයාට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කතාබහක් කරළියට එන්නේ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ශ්‍රී ලංකාව තුළ බරපතළ කැලඹීමක් ඇති කළ 'හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' ඖෂධ වංචාව පිළිබඳ සිදුවීම හරහා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගැන සුවිශේෂ සංවාදයක් සමාජය තුළ ඇති විය. අදාළ සිදුවීම පිළිබඳ දිගින් දිගට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදු කළ අතර, සැකකරුවන් ලෙස රාජ්‍ය නිලධාරිහු කිහිප දෙනෙක් අත්අඩංගුවට පත් වූහ. නමුත් සමාජ ක්‍රියාකාරිකයන්, සිවිල් සංවිධාන සහ වෛද්‍ය සංගම් දිගින් දිගට ම චෝදනා කළේ, ඖෂධ වංචාවට අදාළ මහමොළකරු තවමත් නිදැල්ලේ සිටිනා බව යි. ඒ වෙන කිසිවකු නොව, වංචාව සිදු වන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල බව මෙම සංවිධාන සඳහන් කළේ ය. 

කෙහෙළියට එරෙහි විරෝධය දිගින් දිගට ම සමාජය උණුසුම් කරද්දී සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි ව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අප පෙර සඳහන් කළ නවසීලන්තයේ මෙන් කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා විමර්ශනය අවසාන වන තුරු සිය ධුරයෙන් ඉවත් වූයේ නැත. ඒ තබා ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යස්වථාදායකය වත් කෙහෙළිය ගේ සෞඛ්‍ය පට්ටම ගැලවීමට තීරණය කළේ නැත. ඒ වෙනුවට විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩු පාර්ශ්වය කටයුතු කළේ ය. මහජන මතය කෙහෙළියට එරෙහි ව පවතිද්දි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බදු පාර්ලිමේන්තුව කෙහෙළිය ව ආරක්ෂා කළේ ය. එය හාස්‍යමය දේශපාලන විසංවාදයකි. විවිධ සංකූලතා හේතුවෙන් රෝහල්වල රෝගිහු මිය ගිය හ. ඊට හේතුව බාල ඖෂධ බවට බොහෝ පාර්ශ්ව චෝදනා කළේ ය. එය සත්‍ය වේ වා අසත්‍ය වේ වා සිය කනගාටුව ප්‍රකාශ කරනු වෙනුවට කෙහෙළිය රඹුක්වැල්ල සිදු කළේ, රෝගින් ගේ මරණ, සරල සහ ග්‍රාම්‍ය වාක්‍ය ඛණ්ඩයකට ලඝු කිරීමකි. ''මිනිස්සු මැරෙනවා තමයි. ඒ නිසා නේ ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාලා තියෙන්නේ'' යනුවෙන් පාර්ලිමේන්තුවේ දී උස් හඬින් කතා කළ කෙහෙළිය රඹුක්වැල්ල ව ලාංකේය පුරවැසියාට අමතක කළ නො හැක. කෙසේ වෙතත් බාල ඖෂධ සිද්ධිය සමාජය දිනෙන් දින උණුසුම් කිරීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය කෙහෙළිය ගෙන් ඉවත් කර අමාත්‍ය රමේෂ් පතිරණට ලබා දෙන ලදි. ඉන් පසු, සෞඛ්‍යයේ යහපැවැත්ම සාධනය කිරීමේ වගකීම වෙනුවට පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම කෙහෙළියට හිමි විය.

කෙසේ නමුත් ඉකුත් පෙබරවාරි 02 වැනි දා කෙහෙළිය රඹුක්වැල්ල CID අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. පසු ව ඔහු සිය පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉවත් විය. ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ආණ්ඩුවේ අමාත්‍යවරයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් ගැන අපට මෙසේ අසන්නට ලැබුණේ දිගු කාලයකට පසු ව වීම විශේෂත්වයකි.

සිරගත කළ දේශපාලඥයන් ගේ ඉතිහාසය

අප්‍රේල් කැරැල්ල සහ රෝහණ විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ එහි ආරම්භක නායක පටබැඳි දොන් නන්දසිරි රෝහණ විජේවීර පළමු වරට සිරගත වන්නේ, 1970 දී ය. ඒ, 71 කැරැල්ල ඇති වීමට පෙර සමයේ දී රජයට විරුද්ධ ව කැරලි ගැසීමේ චෝදනාව යටතේ ය. අත්අඩංගුවට ගැනුණු රෝහණ විජේවීර යාපනය බන්ධනාගාරයේ රඳවා තැබිණි. රෝහණ විජේවීර ව මුදා ගැනීම සඳහා යාපනය බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීම ද 71 කැරැල්ලේ එක් සැලසුමක් බවට පත් ව තිබිණි. රැජින ගේ ආණ්ඩුව සහ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක ගේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම ද කැරැල්ලේ තවත් එක් අරමුණක් විය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ මෙම සන්නද්ධ අරගලය අසාර්ථක එකක් බවට පත් විය. කැරැල්ලෙන් පසු සැකකරුවන්ට 'රැජින ගේ ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරියට එරෙහි ව කැරලි ගැසීම' යන චෝදනා එල්ල විය. චෝදනා විමර්ශනය සඳහා ' අපරාධ යුක්ති කොමිෂන් සභාව' නමින් කොමිෂන් සභාවක් ද පිහිටවූ අතර, 71 අප්‍රේල් කැරැල්ලේ මහනඩුවට ප්‍රධාන සැකකරුවන් 16 දෙනෙකු ඇතුළත් විය. රෝහණ විජේවීරට අමතර ව ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ, පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්, ජවිපේ උපනායක උපතිස්ස ගමනායක මහනඩුවේ ප්‍රධාන සැකකරුවෝ වූහ. නඩු විභාගය අවසානයේ රෝහණ විජේවීර ඇතුළු පිරිසට සිර දඬුවම් නියම විය. කෙසේ වෙතත් 1977 ඔක්තෝබර් 27 වැනි දා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දි සම්මත වුණු අතර, විජේවීර ඇතුළු අප්‍රේල් කැරැල්ලේ සිරකරුවෝ නිදහස ලැබූ හ. 88-89 කැරැල්ලෙන් පසු රෝහණ විජේවීරට සිරගත වීමට හෝ නිදහස් වීමට අවස්ථාවක් නො ලැබුණු අතර, ඔහු 1989 නොවැම්බර් 13 වැනි දා බොරැල්ල කනත්තේ දී ඝාතනයට ලක් විය.

විජය කුමාරතුංග සහ නැක්සලයිට් චෝදනාව

ලාංකේය දේශපාලනයේ පෙරළියක් ඇති කළ තවත් එක් ප්‍රධානතම දේශපාලන චරිතයක් ලෙස විජය කුමාරතුංග හඳුනා ගැනීම අවිවාදිත ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංග, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හැඩ කළ සිනමාවේ සිහින කුමාරයා ලෙස අදට ද හඳුනා ගැනේ. 1945 ඔක්තෝබර් 08 වැනි දා රාගම දී උපත ලැබූ විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 වැනි දා ඝාතනයට ලක් විය. ඔහු ගේ ඝාතනය පිළිබඳ පාර්ශ්ව කිහිපයකට චෝදනා එල්ල විය.

විජය කුමාරතුංග සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළේ ය. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී මනාප 19,738ක් ලබා ගත්තේ ය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදිණි. 

කෙසේ වෙතත් මැතිවරණයයෙන් පසු විජය කුමාරතුංගට නැක්සලයිට් චෝදනා එල්ල විය. නැක්සලයිට්වරුන් යනු, ඉන්දියාවේ සිටි විමුක්ති සටන්කාමින් පිරිසකි. චීනයේ මාඕ සේතුන් ගේ යුදවාදී සංකල්පය සිය දාර්ශනික සහ දේශපාලන හරය කර ගත් නැක්සලයිට්වරු, කොමියුනිස්ට්වාදී පදනමකින් රාජ්‍යයට එරෙහි ව ජනතාව සංවිධානය කළ පිරිසක් වූ හ. 1964 දී ඉන්දියාව තුළ ආරම්භ වූ නැක්සලයිට් ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ලෝකයේ ම අවධානය දිනා ගත් ව්‍යාපාරයක් බවට පත් විය. 

1982 ජනාධිපතිවරණයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව පරදා ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. එම ජනාධිපති සටනේ දී විජය කුමාරතුංග ගේ පූර්ණ සහයෝගය හිමි වූයේ, හෙක්ටර් කොබ්බෑකඩුවට ය. කෙසේ වෙතත් විජය කුමාරතුංගට රාජ්‍යය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට නැක්සලයිට් චෝදනා එල්ල විය. මෙය 80 දශකය කැලඹූ ප්‍රබල සිද්ධියකි. මෙම චෝදනාව මත 1982 නොවැම්බර් 19 වැනි දා විජය කුමාරතුංග හිර ගෙදරට නියම විය. එතැන් සිට 1983 ජනවාරි 18 වැනි දා දක්වා ඔහු බන්ධනාගාරගත විය. බන්ධනාගාරයේ දී විජය කුමාරතුංග සිටි කුටියේ අධික ආලෝකයක් සහිත විදුලි බුබුලක් දල්වා තිබූ බවටත් එහි ආලෝකයේ සැර හේතුවෙන් විජය කුමාරතුංගට නිදා ගැනීමට පවා නො හැකි වූ බවටත් ජනප්‍රිය කතාවක් සමාජයේ පවතියි.

අධිකරණයට අපහාස කළ එස්.බී

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සාකච්ඡා විටින් විට සමාජය තුළින් මතු වේ. අවසන් වතාවට එවැන්නක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ, හදිසි අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත අමාත්‍යවරයා ගෙනි. ඔහු අධිකරණයට අපහාස කළ බවට කණ්ඩායම් කිහිපයක් ම චෝදනා එල්ල කළ නමුත් එම චෝදනා පිළිබඳ අධිකරණ කටයුතු නිමා වීමට පෙර ඔහු ජීවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ අප ගේ මතකයට නැඟෙන ප්‍රධානතම සිද්ධියක් වන්නේ, 2003 වර්ෂයේ දී එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එස්.බී.දිසානායක අධිකරණයට අපහාස කළ සිදුවීම යි. 

2003 වසරේ හබරාදූවේ පැවැති වප්මඟුල් උලෙළක දී මාධ්‍යය ඉදිරියේ දී කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහු ලක් විය. එකල ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා විය. 2003 වසරේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චෝදනා විභාග කර එස්.බී. දිසානායකට සිර දඬුවම් නියම කළේ ය. ඒ 2004 වසරේ දෙසැම්බර් 12 වැනි දා ය. අධිකරණ තීන්දුව ප්‍රකාර ව ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම විය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්.බී දිසානායකට බරපතළ වැඩ ඇති ව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ආණ්ඩුව සමයේ ය. ඉක්බිති 2005 වසරේ දී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ අතර, ඔහු සිය විධායක බලතල භාවිත කර එස්.බී. දිසානායකට නිදහස ලබා දුන්නේ ය. පසු ව එස්.බී.දිසානායක මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන දීගයක් ඇරඹීය.

සරත් ෆොන්සේකා සිරගත කිරීම

2009 දී උතුරේ බෙදුම්වාදී අරගලයට යුදමය අවසානයක් උදා විය. ශ්‍රී ලංකා දේශයේ මහා අධිරාජ්‍යයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරාජමාන වූයේ, මෙම සමයේ ය. ඔහු ගේ නමින් 'ආයුබෝ වේ වා මහරජාණනි' යනුවෙන් ගීත පවා ගැයුණේ මෙම වකවානුවේ දී ය. ඉන් පසු 2010 ජනාධිපතිවරණය කැඳවිණි. ජනපති සටන තුළ කොන්දේසි විරහිත ව නැඟී ආ මහා පෞරුෂය වූයේ මහින්ද රාජපක්ෂ ය. මහින්ද ගේ පසමිතුරා වූ වත්මන් ජනපති, එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එම මොහොතේ තිබුණේ, අඩි 06ක් පොළොව යට වළ දැමූ මහජන මතයකි. ''යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන්' යැයි පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ලලා, ''අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා'' යැයි පැවසූ රවීලා මැද රනිල් ගේ මහජන මතය තිබුණේ, වැලේ වැල් නැති ව ය. මහින්ද රාජපක්ෂ ව ජනපති සටනින් පැරදවීම නමැත්ත කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමටත් වඩා දුර්ලභ වූ එකක් බව රනිල්ට වැටහිණි. මළ දරුවා ළයේ හොවාගෙන උමතුවෙන් පාරක් පාරක් ගාණේ ඇවිද ගිය කිසාගෝතමිය මෙන් පණ අදින එක්සත් ජාතික පක්ෂය නමැති දරුවා රැගෙන ජනපති සටන තුළ හසරක් නොමැති ව නන්නත්තාර වීමට රනිල්ට සිදු විය.

සියල්ල ඇරඹුණේ ඉන් පසු ය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් ප්‍රමුඛ පාර්ශ්වය, යුද ජයග්‍රහණයේ කේන්ද්‍රීය නියමුවකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ව ජනපති සටනට කැන්දාගෙන පැමිණිය හ. තත් මොහොත තුළ මහින්දට එරෙහි ව පොර පිටියට දැමීම සඳහා සරත් ෆොන්සේකා හැර වෙනත් කිසිවකු සොයා ගැනීමට රනිල්ට නො හැකි වූවා සේම ඒ සඳහා වෙනත් සුදුසු කිසිවකු ද ලාංකේය දේශපාලනයේ එම මොහොත තුළ නොසිටියේ ය. 2010 ජනාධිපතිවරණය පැවැත්විණි. ඉන් මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 18කින් සරත් ෆොන්සේකා පරාජය කර දෙවැනි වරට ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් විය. 

සරත් ෆොන්සේකාට කල්දේරම් බත්

ජනපති සටන නිමා වී සතියක් යන්නටත් පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා ව අත්අඩංගුවට ගැනිණි. ඔහුට චෝදනා කිහිපයක් එල්ල විය. ඒ 2010 වර්ෂයේ දී ය. චෝදනා විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අධිචෝදනා යටතේ සරත් ෆොන්සේකාට වසර 03ක සිර දඬුවමක් නියම කෙරිණි.

කෙසේ වෙතත් ජනපති සටනින් පසු ජෙනරාල් සරත් ෆොන්සේකා, නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් මහමැතිවරණය සඳහා තරග කළේ ය. ඉන් ඔහු පාර්ලිමේන්තුවට ද තේරී පත් වූ නමුත් සිරදඬුවම් හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව අහිමි විය. ඉන් පසු 2015 රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව බිහි වුණේ, මහින්ද රාජපක්ෂට මැදමුල වලවුවේ ජනේලයේ එල්ලීමට කටයුතු සලස්වමිනි. ඉන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජෙනරාල් සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඔහු ගේ පදක්කම් ද නැවත පිරිනැමීමට කටයුතු කළේ ය. එසේම ලාංකේය ඉතිහාසයේ පළමු වරට ෆීල්ඩ් මාෂල් ධුරය ද ඔහුට ලබා දුන්නේ ය.

කුමාර් ගුණරත්නම් ගේ දිවිත්ව පුරවැසිභාවය

1988-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය සන්නද්ධ අරගලය අසාර්ථක විය. එසේම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ සහ රාජ්‍ය හමුදාවල බරපතළ මර්දනයකට ලක් විය. එම මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, උපනායක උපතිස්ස ගමනායක, සන්නද්ධ අංශයේ නායක කීර්ති විජයභාහු ඇතුළු ජවිපේ ප්‍රබලයන් සියල්ල ම පාහේ ඝාතනයට ලක් විය. ප්‍රබලයන් ලෙස ඉතිරි වූයේ කිහිප දෙනකු පමණි. ඒ අතර ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ, ලයනල් බෝපගේ, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක වැනි අය වූහ. සන්නද්ධ අරගල‍යෙන් පසු සෝමවංශ අමරසිංහ එංගලන්තයට පැන ගිය බවත් ඉතිරි නායකයන් තැන් තැන්වල නිශ්ක්‍රීය ව ක්‍රියාතමක වූ බවත් ජවිපේ ඉතිහාසය කියවන විට අපට හමු වේ. 

ජවිපේ නැවත බිහි වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මතු වන ප්‍රධාන චරිතයක් ලෙස කුමාර් ගුණරත්නම් හඳුනාගත හැකි ය. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහලේකම්වරයා වන්නේ ද කුමාර් ගුණරත්නම් ය. 88-89 සමයේ ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාවට අමතර ව ඊට පහළින් පැවති නිලධාරී ධුරාවලියක් පැවතුණු බව සඳහන් ය. එම අප්‍රකට සහ සැඟවුණු දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කුමාර් ගුණරත්නම් හඳුනාගත හැකි බව ජවිපේ ඉතිහාසය ගැන කියන්නන් නිතර සඳහන් කරන කාරණයකි. නොයෙල් මුදලිගේ, කුමාර් මහත්තයා යන අන්වර්ථ නාමවලින් ද ඔහු පෙනී සිට තිබේ. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් පිළිබඳ වත්මන් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇත්තේ, පරස්පර අදහසකි. වරක් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ජවිපේ වත්මන් නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, කුමාර් ගුණරත්නම් නමැති පුද්ගලයකු කිසි දා ජනතා විමුක්ති පෙරමුණේ නො සිටි බව යි. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ඉංග්‍රීසි උගත්තේ, කුමාර් ගුණරත්නම් ගේ මව ගෙන් බව ජවිපේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයකු පවසන කාරණයකි.

2015 වර්ෂයේ දී කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. එතෙක් ඔහු සිටියේ ඔස්ට්‍රේලියාවේ ය. තමා ගේ හුරු පුරුදු දේශපාලනය කිරීමට සහ තමා ගේ දේශපාලනයේ අක්මුල් සොයා නැවත ලංකාවට පැමිණි බව ඔහු වරක මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේ ය. 2015 දී ජනතා විමුක්ති පෙරමුණේ සිටි පිරිසක් පක්ෂයෙන් ඉවත් වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් බිහි කර ගත් අතර, එහි මහලේකම්වරයා වූයේ කුමාර ගුණරත්නම් ය. කෙසේ වෙතත් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ කුමාර් ගුණරත්නම්ට නඩු පැවරිණි. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය තිබිය දී වීසා නොමැති ව මෙරට දේශපාලනය කිරීම වැනි කාරණා ඔහුට විරුද්ධ ව පැවති චෝදනා වේ. ඒ අනුව ඔහු 2016 වර්ෂයේ දී ඔහු බන්ධනාගාරගත වන අතර, 2016 දෙසැම්බර් 02 වැනි දා නිදහස ලැබුවේ ය. කෙසේ වෙතත් ඉන් පසු නීත්‍යනුකූල ව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කර ගත් කුමාර් ගුණරත්නම් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනය තුළ නිරත ව සිටියි.

රන්ජන් රාමනායක ගේ අධිකරණ අපහාසය

2020 මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් දිවුලපිටියට තරග කළ රන්ජන් රාමනායක ඉන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය. කෙසේ වෙතත් ඔහුට වැඩි කලක් සිය මන්ත්‍රී අසුන තුළ කටයුතු කිරීමට නොහැකි විය. විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කළ රන්ජන් රාමනායක, දේශපාලනය තුළ එක්තරා 'වීර' චරිතයක් ද නිරූපණය කළේ ය. ''උනුත් එකයි මුනුත් එකයි ඔක්කොම හොරු මල්ලි'' වැනි ප්‍රකාශ හරහා රන්ජන් රාමනායක කෙරෙහි යම් ජනාදරයක් නිර්මාණය වය. 

කෙසේ වෙතත් රන්ජන්ට මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ දිගින් දිගටම සිදු කළ නොහැකි විය. මාධ්‍යය ඉදිරියේ අධිකරණය විනිසුරුවන් ගේ තීරණ පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කිරීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායකට නඩු පැවරිණි. ඒ අනුව 2020 වර්ෂයේ දී රන්ජන් රාමනායක සිරගත වුණු අතර, ඉන් පසු ඔහු බන්ධනාගාරගත කෙරිණි. පසු ව 2022 වර්ෂයේ දී ජනාධිපති සමාව ලැබීමෙන් පසු ඔහු නිදහස ලැබීය.

ඉහත දක්වා ඇති සිදුවීම්වලින් අතිමහත් බහුතරය පිළිබඳ විමසීමේ දී පැහැදිලි වන මහාපොදු සාධකය වන්නේ, මෙම නීතිය ක්‍රියාත්මක වීම් සියල්ල ම පාහේ විපක්ෂ සහ විකල්ප දේශපාලඥයන්ට එදිරි ව ක්‍රියාත්මක වූ ඒවා බව ය. එස්.බී දිසානායක පමණක් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් සිට සිරගත වුව ද ඔහුට එල්ල වූ චෝදනාව බරපතළ එකකි. ඒ, අමු අමුවේ අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම ය. ඒ හැර සෙසු සියලු සිදුවීම් විපක්ෂ දේශපාලඥයන්ට එරෙහි ව නීතිය ක්‍රියාතත්මක වීම් ය. නමුත් බොහෝ කලකට පසු ව එම ක්‍රමය වෙනස් වී මේ මොහොතේ කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත වී ඇත. එය ආණ්ඩුවේ සංදර්ශනයක් විය හැකි බවට ද විවිධ පිරිස් මත පළ කරති. එම මතය ද බැහැර කළ නො හැක්කේ, අප ඉතිහාසය හොඳින් දන්නා බැවිනි. එමෙන්ම මෙම අවස්ථාවේ දී නම් කෙහෙළිය බෙල්ල මුලින්ම සිර වී ඇති බවත් ඔහුට ගැලවීමේ හැකියාවක් නැති බවත් තවත් පාර්ශ්ව පළ කරන අදහසකි.

ඉදින් මේ ආදී සිදුවීම්වලින් හා ඉතිහාසය පිළිබඳ විමර්ශනයෙන් අපට අනාගතය පිළිබඳ පුරෝකථනයන් සිදු කළ හැකි ය. ඒ අනුසාරයෙන් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට අපට හැකියාව ලැබෙනු ඇත. තරාතිරම, පක්ෂ, පාට නො බලා නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව ද පත් වේ වා යි අපි බලාපොරොත්තු දල්වා සිටිමු.