කුඩා දරුවන් දෙදෙනාට පහර දෙමින් වීඩියෝ කළ පියා අත්අඩංගුවට

කුඩා දරුවන් දෙදෙනාට පහර දෙමින් වීඩියෝ කළ පියා අත්අඩංගුවට

February 7, 2024   12:16 pm

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය විඩියෝ කර සමාජ මාධ්‍යට එක් කළ එම දරුවන්ගේ පියාව අද (07) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිඳගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් 05 වනදා රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබුණි.

අවුරුදු 09 සහ 05 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනාට පහරදී ඇති සැකකරුගේ බිරිඳ ගෘහසේවය සඳහා විදේශගතවී සිටින බවද වාර්තා වෙයි.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති අතර සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන පුද්ගලයෙකි.

දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිබඳින නිසා සැකකාර පියා විසින් මෙලෙස පහරදී ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.