වගා හානි සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලයි
February 3, 2024 01:08 pm
ස්වාභාවික හේතූන් මත විනාශ වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
අම්පාර ප්රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර, කීඩෑ උවදුරක් හේතුවෙන් අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රදේශ රැසක වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇත.
අනුරාධපුර දිස්ත්රික්කයේ වගා බිම් සියල්ලම පාහේ මෙවර මහ කන්නය වෙනුවෙන් වී වගා කර තිබේ.
එම දිස්ත්රික්කයේ නෑගම්පහ, මානේරුව සහ වම්බටුවැව යන ප්රදේශ එලෙස වැඩි වශයෙන් වී වගාව සිදු කෙරුණ ප්රදේශ කිහිපයකි.
නමුත් මේ දිනවල පැතිර යන කීඩෑ උවදුරක් හේතුවෙන් ප්රදේශයේ වී වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ප්රදේශයේ ගොවීන් පවසන්නේ, මාස දෙක හමාර පසු වී ඇති කිරි වදින ගොයමට මෙම කීඩෑ උවදුරෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති බවයි.
ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ, විශාල මුදලක් වැය කර සිදු කළ ගොවිතැන් විනාශ වීම වළක්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
මේ අතර, පොළොන්නරුව මහවැලි බී කලාපයට අයත් දිඹුලාන ප්රදේශයේ බඩ ඉරිඟු වගාව ඉකුත් දිනවල දී ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් විනාශ වී තිබේ.
එසේම බඩඉරිඟු වගාවන් ආශ්රිතව පැතිර යමින් පවතින දිලීර රෝගයක් හේතුවෙන් ඉතිරි වී තිබෙන බඩ ඉරිඟු වගාවන් ද මේ වන විට ක්රමයෙන් විනාශ වෙමින් පවතියි.
අක්කර 180ක පමණ වගා කළ බඩ ඉරිඟු වගාවන් මෙලෙස විනාශ වී ඇති බවට ගොවීහු මැසිවිළි නගති.
මේ අතර ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ස්වාභාවික හේතුන් මත සිදු වන වගා විනාශයට වහා වන්දි මුදලක් ලබාදිමට රජය කටයුතු කළ යුතු බවයි.