ලොව පුරා ගැටුම් පැතිරෙයි - අමෙරිකාවේ මල්ල පිරෙයි

ලොව පුරා ගැටුම් පැතිරෙයි - අමෙරිකාවේ මල්ල පිරෙයි

January 31, 2024   03:40 pm

ගෙවුණු වසර ලොවපුරා යුද ගැටුම් බහුල වූ වසරකි.

ඉන් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුවුවත් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව අසරණ වුවත්, අවි අලෙවි කරන රටවලට නම් මෙය වඩාත් සුබදායී කාලයක් වූ බව නොරහසකි.

ගෙවුණු වසරේ අමෙරිකානු අවි අලෙවිය වාර්තාගත ඉහළ අගයක පැවති බවට අනාවරණ වූයේ මෙවන් පසුබිමක ය.

නිල වාර්තාවලට අනුව ගෙවුණු වසරේ අවි අලෙවියෙන් අමෙරිකාව උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 238 කි.

ඉන් අමෙරිකානු ඩොලර් බිලියන 81ක් උපයාගෙන ඇත්තේ අමෙරිකානු රජය සිදුකළ සෘජු අවි අලෙවියෙන් බව දැක්වෙයි.

එය 2022 වසරේ අමෙරිකාව සිදුකළ සෘජු අවි අලෙවිය මෙන් සියයට 56ක ඉහළ යාමකි.

ඉතිරි අමෙරිකානු ඩොලර් බිලියන 157ක් උපයාගෙන ඇත්තේ අමෙරිකාවේ ආරක්ෂක සමාගම් සහ විදෙස් රටවල් අතර සිදුවූ අවි ගනුදෙනුවලදී ය.

අමෙරිකාවෙන් වැඩිම අවි තොගයක් මිලදී ගත් රාජ්‍යය බවට පත්ව ඇත්තේ රටේ හමුදා ශක්තිය ඉහළ නැංවීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින නැගෙනහිර යුරෝපා කලාපීය රටක් වන පෝලන්තය යි.

පෝලන්තය අමෙරිකානු ඩොලර් බිලියන 12ක අපාචේ හෙලිකොප්ටර් මිලදීගෙන ඇති අතර තවත් අමෙරිකානු ඩොලර් බිලියන 10ක අධි සංචලන කාලතුවක්කු රොකට් පද්ධති (Himars) සඳහා ගෙවා තිබේ.

ඊට අමතරව යුද ටැංකි මිලදීගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 3.75ක් හා ගුවන් සහ මිසයිල් ආරක්ෂණ පද්ධති මිලදී ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 4ක් වැයකිරීමටත් පෝලන්තය කටයුතු කර ඇතැයි සඳහන් ය.

යුක්‍රේනයේ අසල්වැසි රාජ්‍යය වන පෝලන්තය සිය ආරක්ෂාව තර කිරීමට කටයුතු කළේ රුසියාව, යුක්‍රේන ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ය.

තම රට යුරෝපයේ බලගතුම හමුදාව බවට පත්කරගැනීම පෝලන්ත නව අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ අභිප්‍රාය වී ඇති බව සඳහන් ය.

මේ අතර ජර්මනිය අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක චිනොක් හෙළිකොප්ටර් යානා මිලදී ගෙන තිබේ.

එමෙන්ම බල්ගේරියාව අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සන්නද්ධ රථ මිලදීගෙන ඇති අතර නෝර්වේ රාජ්‍ය අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක් වටිනා බහුකාර්ය හෙළිකොප්ටර් යානා මිලදී තිබුණි.

චෙක් ජනරජයත් අමෙරිකාවෙන් F 35 ප්‍රහාරක ජෙට් යානා සහ යුධෝපකරණ මිලදීගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වැය කර තිබේ.

යුරෝපයට අමතරව අමෙරිකාවෙන් වැඩි වශයෙන්ම අවි මිලදී ගත් රටවල් අතරට දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය අයත් වෙයි.

දකුණු කොරියාව අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක F 35 ප්‍රහාරක ජෙට් යානා මිලදීගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක හර්කියුලිස් යානා ලබාගෙන තිබේ.

එමෙන්ම ජපානය අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක E2D හෝකායි නිරීක්ෂණ යානා මිලදීගැනීමට ගිවිසුම් ගතව සිටියි.

රුසියාව යුක්‍රේන ආක්‍රමණය කිරීම හේතුවෙන් අවි ඉල්ලුම ඉහළ යාම මෙම ආදායම් ඉහළ යාමට හේතුවී ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම රටවල් බොහෝ ගණනක් ලොව දෙවැනි විශාලතම අවි නිපදවන්නා වන රුසියාවෙන් අවි මිලදීගැනීම නවත්වා දැමීමත් මෙම තත්ත්වයට හේතුවී තිබුණි.