ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ඇත්තටම මොකද වුණේ ?

ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ඇත්තටම මොකද වුණේ ?

January 28, 2024   10:34 pm

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ''ලොරෙන්සෝ පුතා 4'' නමැති යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු හෙළිවෙමින් පවතී.

කෙසේ වෙතත් ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ, ''ලොරෙන්සෝ පුතා 4'' නමැති අදාළ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඊයේ (27) දහවල් එකේ පමණ සිට මේ දක්වා සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බවය.

"ලොරෙන්සෝ පුතා 4 " බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට පිවිස තිබුණේ ධීවරයින් 06 දෙනෙකු සමගිනි. 

එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 

අරාබි මුහුදේ ධීවරයින් රැකියාවේ නිරත ප්‍රදේශයට ඊයේ එකවරම පැමිණි කිසියම් යාත්‍රාවක් "ලොරේන්සේ පුතා 04" යාත්‍රාව පසුපස හඹාවිත් ආයුධ සන්නද්ධ දෙදෙනෙකු ඊට බලහත්කාරයෙන් ඇතුළුවී අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඒ වනවිටත් මෙම යාත්‍රාවේ හිමිකරුට අයත් තවත් බහුදින ධීවර යාත්‍රා 2ක් එම ප්‍රදේශයේම යාත්‍රා කරමින් සිට ඇති අතර ඉන් එක් යාත්‍රාවක ධීවරයින් 8 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙකු රැඳී සිට ඇත.

"ලොරෙන්සෝ පුතා 4 " යාත්‍රාවේ සිටි ධීවරයින් රේඩියෝ උපාංග මගින් සිය සහචර යාත්‍රාවකට තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම පණිවිඩය යාත්‍රා හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරාට රේඩියෝ උපාංග මගින් සැල කර තිබුණි.

මේ වනවිට "ලොරෙන්සෝ පුතා 4 " යාත්‍රාව සමඟ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ධීවර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමටය.

අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දුන් බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා අද දෙරණට පැවසීය.

ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සැලකෙන්නේ ලොව විශාලතම සමුද්‍රීය ආරක්ෂණ හවුල්කාරීත්වය ලෙසය.

සෝමාලියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

යාත්‍රාවේ නියමුවා 32 හැවිරිදි අයෙක් වන අතර සෙසු පිරිස වයස අවුරුදු 23, 27, 33 සහ 44 යන වයස්වල පසුවන තොඩුවාව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඔවුන් අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සිටින බවය.