සනත් නිශාන්ත සිටි රථය ධාවනය වූ වේගය ගැන හෙළිවෙයි

සනත් නිශාන්ත සිටි රථය ධාවනය වූ වේගය ගැන හෙළිවෙයි

January 26, 2024   07:41 am

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

ඒ අනුව රියරුදු ප්‍රභාත් එරංග පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ,  

"අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා."

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි.

අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, "මට මාරක අපල තියෙනවා කියලා හඳහන බලපු ජ්‍යොතිෂවේදියෙක් කිව්වා" යැයි කටුනායක අධිවේගී මාර්ගයේ වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මීට දින කිහිපයකට පෙර මාධ්‍යවේදීන් සමග පැවැති සුහද හමුවකදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

මීට සති දෙකකට පෙර කොළඹදී මෙම සුහද හමුව පවත්වා තිබුණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිනාසෙමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, "ගහේ ගලේ ගැහුවත් උඹව මරන්න බැහැ" යැයි සිය හඳහන බැලූ ඥාතියෙකු පැවසූ බවය. "ඒ් වගේම මම අදටත් ජීවත් වෙනවා." යැයිද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

තවද දේශපාලනයෙන් සමුගන්නා ලෙසට පවුලේ සාමාජිකයන් තමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇත.