මහින්ද කොඩිතුවක්කු ගැන තවත් තොරතුරු රැසක් එළියට

මහින්ද කොඩිතුවක්කු ගැන තවත් තොරතුරු රැසක් එළියට

January 15, 2024   08:24 pm

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී අද (15)අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු හෙට (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින තැනැත්තාව පසුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන එනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය භාරයට ගත්තේය.

විමර්ශන නිලධාරින් පවසන්නේ සැකකරු රැඳී සිටී මෙම නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවය. 

ප්‍රදේශවාසීන් පවසන්නේ සැකකරු මෙම නිවසට පැමිණියේ මීට දින 10කට පමණ පෙර බවය.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙම නිවසේ අලුයම් කාලය වනතුරු දේශන පැවති බවත් ඊට රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පවසයි.

අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැත්තා පසුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු හෙට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.