ලිංගික අතවර චෝදනාවකට නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට

ලිංගික අතවර චෝදනාවකට නැටුම් ගුරුවරයෙක් අත්අඩංගුවට

January 14, 2024   01:05 pm

පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව නර්තන ගුරුවරයෙක් පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. 

උපකාර පන්ති නිමවී නිවසට යමින් සිටි දොළොස් හැවිරිදි දරුවෙකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී උපකාර පන්ති නැටුම් ගුරුවරයෙක් සිය යතුරුපැදියට නංවාගෙන තිබේ.

ඒ තමාට මිතුරෙකුගේ නිවසක් සොයා ගැනීමට සහාය වන ලෙස දරුවාට පවසමිනි. 

යතුරුපැදිය කෙටි දුරක් ගමන්ගන්නා අතරතුර සැකකරුගේ බඳ වටා තිබූ දරුවාගේ අතක් ගෙන ඔහුගේ රහස් පෙදෙස දෙසට යොමු කරගනිමින් ඔහු දරුවා අපහරණය කර තිබූ බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එලෙස සැකකරු දරුවා සමඟ ගමන්ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර ඔහු මාර්ගයක් අසල තිබූ පිරවුම්හලකින් ඉන්ධන ලබාගත් බව ද වාර්තා වේ.

එම ස්ථානයෙන් පිටව යන සැකකරු පාළු මාර්ගයක් කරා යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී බියට පත් දරුවාගේ කෑ ගැසීම නිසා ඔහු දරුවා දමා පළා ගොස් ඇත. 

සිද්ධිය පිළිබඳ දරුවාගේ මව්පියන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමෙන් පසු 27 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු මීට මාස කීපයකට පෙර ප්‍රධාන පෙළේ නැටුම් පන්තියක් පවත්වාගෙන යමින් පිරිමි දරුවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නැටුම් ගුරුවරයාගේ ප්‍රධානම ගෝලයා බව අනාවරණය වී තිබේ. 

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැර ඇත.