අධිවේගී පිවිසුමේ දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි

අධිවේගී පිවිසුමේ දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි

January 10, 2024   07:40 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී කාන්තාවක්ව අමානුෂික ලෙස ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, ඔහු රටින් පිටවීමට උත්සාහ ගත් අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට පත්වූ බවය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක්ව කටයුතු කළ 41 හැවිරිදි කාන්තාවක් ඊයේ (09) සවස කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනය වී තිබුණේ මඩපාත, පිළියන්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය කාන්තාව රාජකාරිය නිමවී නිවස බලා යමින් සිටියදී එම ප්‍රහාරයට ලක්ව තිබිණි.

අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවය.

කෙසේ වෙතත් අදාළ කාන්තාව ඝාතනය කළ බවට සැක කෙරෙන 45 හැවිරිදි පුද්ගලයා දිවයිනෙන් පිටවීමට උත්සාහ දැරීමේදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු වසර ගණන් විදෙස් ගතව සිට දිවයිනට පැමිණි අයෙක් බවත් පොලීසිය පවසයි.