කීරි සම්බා වැටලීම් දවස පුරා
January 5, 2024 03:58 pm
පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා අද (05) සිට දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
කීරි සම්බා කිලෝග්‍රෑම් 01ක පාලන මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 260කි.
2023 වසරේ සිදුකරන ලද වැටලීම්වලදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳුන්ගෙන් ලබාගත් දඩ මුදල 27 කෝටි 84 ලක්ෂයකි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ (වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ මහතා,
"වෙළෙඳපොළ තුළ කීරි සම්මා රුපියල් 320ක මිලටත් අලෙවි කෙරෙනවා. කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 260ට වඩා වැඩියෙන් විකුණලා හසු වුණොත් සාමාන්‍ය වෙළෙන්දෙක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩයක් පනවන්න පුළුවන්. කම්පැනි ලිමිටඩ් නම් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ පැනවිය හැකියි. පොඩි ලාභයක් නිසා අමාරුවේ වැටෙන්න එපා."
වෙළෙඳසැල් තුළ මේ ආකාරයෙන් මිල වැඩියෙන් සහල් විකුණනවා නම් ජනතාවට පුළුවන් 1977 අංකයට දැනුම් දෙන්න.
ඒ අනුව නව වසරේ සහල් වැටලීම් දැඩි කර ඇති අතර ගැසට් නිවේදනයට අනුව සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රු.260/-ක්, සම්බා රු.230/-ක්, නාඩු රු.220/-ක්, රතු කැකුළු රු.210/- ක් ලෙස ය.
