පරාටේ නීතිය සහ එහි වත්මන් තත්ත්වය
January 4, 2024 09:25 pm
පරාටේ නීතිය (Parate Execution) සරල ව හඳුනාගත හැක්කේ, ණය ගෙවීම, ණය ගැතියා සහ බැංකුවක් අතර ඇති වන ක්‍රියාවලියක් ලෙසට ය. යම් දේපොළක් පිළිබඳ උකසක් හරහා බැංකුවක් මඟින් යම් අයකුට ණයක් ප්‍රදානය කර ඇතැයි සිතමු. යම් හෙයකින් අදාළ ණයගැතියා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය පරාටේ නීතිය ලෙස හඳුනාගත හැකි ය. ණයට ලබා ගත් මුදල, පොලිය හෝ එකී මුදල් වර්ග දෙක ම සම්බන්ධයෙන් ණය මුදලක් මත බැංකුවට ලැබිය යුතු මුදලක් ගෙවීම පැහැර හරින අවස්ථාවක, ප්‍රසිද්ධ වෙන්දේසියක දී උකස් කළ දේපොළ විකුණා තම ණය ආපසු අය කර ගැනීමේ හැකියාව මෙමඟින් නිරූපණය වේ. රන් මාලයක් උකසට තබා ණයක් ලබා ගත් පුද්ගලයකු, එම ණය ගෙවීම පැහැර හැර ඇති නම්, රන් මාලය වෙන්දේසියක දී විකුණා අදාළ මුදල බැංකුවට අය කර ගැනීමට බැංකුව කටයුතු කිරීම මීට සරල උදාහරණයක් ලෙස ගත හැකි ය. කෙසේ වෙතත් අදාළ වෙන්දේසිය සිදු කිරීමට පෙර ඊට අදාළ දැන්වීම රජයේ ගැසට් පත්‍රයේ භාෂා ත්‍රිත්වයෙන් ම සඳහන් කළ යුතු අතර, එය අවම වශයෙන් පුවත් පත් තුනක වත් පළ කළ යුතු වේ. එසේම අදාළ දැන්වීම ණය ගැතියා වෙත ලියාපදිංචි තැපෑලෙන් ද යැවිය යුතු ය.
1990 අංක 04 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතෙහි වූ නීතිමය ප්‍රතිපාදන හරහා පරාටේ නීතිය බලාත්මක වී ඇත. මෙම පනත හඳුන්වා දීමට පෙර ද යම් ආකාරයක පරාටේ නීතිය සතු බලතල මෙරට බැංකු සතු ව පැවති බව ද හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් 2011 අංක 01 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ සංශෝධන විශේෂ විධිවිධාන පනත හරහා පරාටේ නීතියේ යම් යම් වෙනස්කම් සිදු ව ඇත.
පරාටේ නීතිය තුළ ඇති නීතික පදනම සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ අතිසරල න්‍යායාත්මක පැහැදිලි කිරීමක් මෙසේ සිදු කළ හැකි ය. ඒ නමුත් එක වර ම පරාටේ නීතිය පිළිබඳ සංවාදය මෙරට ජන සමාජය තුළ ඇති වීමේ හේතු කාරණා පිළිබඳ විමසීම අත්‍යවශ්‍ය කාරණයකි.
පරාටේ නීතිය හදිසියේ ම මතු වුණේ ඇයි?
මෙරට බැංකු පද්ධතිය අර්බුදයකට ලක් වූයේ, මෑතකාලීන ව ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟිනි. විවිධ වූ අර්බුද ගණනාවක් ම රාජ්‍යයේ සෑම ක්ෂේත්‍රයක් ම බලපෑමට ලක් කරමින් තිබෙද්දී ඉන් මිදීමට බැංකු පද්ධතියට ද නො හැකි විය. එක් අවස්ථාවක දී දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ බැංකු පද්ධතිය පිළිබඳ අභියෝගාත්මක තත්ත්වයක් උදා විය. මෙම තීරණය හරහා සේවක අර්ථසාධක අරමුදල ද බලපෑමකට ලක් විය හැකි බවට සංවාද වතු විය. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයන් හමුවේ බැංකු පද්ධතිය තුළ ඇති මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ විවිධ වූ පාර්ශ්වයන් අවධානයෙන් පසු වීම ආරම්භ කළේය. තැන්පත්කරුවන් ගේ මුදල් පිළිබඳ යම් අවදානමක් ඇති බවට ද මේ හරහා කතාබහක් ඇති විය. පරාටේ නීතිය හරහා බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ සාකච්ඡාව මතු වන්නේ මෙවැනි පසුබිමක ය.
ඉකුත් ජනවාරි මස පළමු වැනි දා ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි දී ඔවුන් අවධාරණය කර තිබුණේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තැන්පත්කරුවන් ගේ මුදල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවක් ලෙස සිදු කිරීමට නියමිත බව ය. එසේම අදාළ නීතිමය පියවර ගන්නේ, අවසාන විකල්පය ලෙස බවත් ඔවුන් අවධාරණය කර ඇත. බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහි ව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම්වලට ප්‍රතිචාර ලෙස නිකුත් කරන ලද මෙම නිවේදනයෙහි ශ්‍රී ලංකා බැංකු සංගමය, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම හිතාමතා ණය ආපසු ගෙවීම පැහැර හරින අය ගෙන් ණය ආපසු ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත. බැංකු විසින් ඇතැම් අවස්ථාවල දී මාස 48 ද ඉක්මවූ දිගු කාලයකට ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කර ඇති බව ද නිවේදනයේ සඳහන් වේ. ණයගැතියන් හිතාමතා ම තම ණය පැහැර හරින අවස්ථාවල දී කල් ඉක්මවූ ණය ආපසු අය කර ගැනීමට හා ලබා දුන් ණයවලින් ඇති වන පාඩු අවම කර ගැනීමට බැංකුවලට තම තැන්පත්කරුවන් වෙනුවෙන් යුතුකමක් පවතින බව ද ශ්‍රී ලංකා බැංකු සංගමය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර ඇත. තැන්පත්කරුවන් ගේ විශ්වාසය පිරිහීම වළක්වා ගැනීම සඳහා මෙම භූමිකාව ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ වගකීම දරන්නේ බැංකු බවත් එම විශ්වාසය බිඳ වැටුණ හොත් බොහෝ අයහපත් ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.
මහබැංකු අධිපති ගේ අදහස
පරාටේ නීතිය ඉවත් කරන්නැයි බලපෑම් කරන්නේ ණය නොගෙවා කට්ටි පනින සුළු පිරිසක් බව බහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර තිබිණි.
“බැංකු විසින් ණය පහසුකම් ලෙස දෙනු ලබන්නේ, තැන්පත්කරුවන් ගේ තැන්පතු මුදල්. මේ තැන්පතු මුදල්වලින් ණය ගන්නා අය ඒවා නිසි ලෙස ආපසු නො ගෙවන්නේ නම්, බැංකුවලට අභියෝගයකට ලක් වීමට සිදු වනවා. නිසි ලෙස බැංකු ණය ආපසු නො ගෙවන විට ඒවා නැවත අය කරගැනීමට සුරැකුම් ලෙස තැබූ වත්කම් බැංකු විසින් පවරා ගැනීමක් කළ යුතුයි. ඒ සඳහා පවතින නීතිය වනුයේ පරාටේ නීතියයි. මෙම පරාටේ නීතිය මඟින් තැන්පත්කරුවන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. එය ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්. මේ නීතිය ඉවත් කරගන්නා ලෙස විවිධාකාර බලපෑම් කරන්නේ, බැංකු ණය නොගෙවන සුළු පිරිසක්. ඒ නීති ඉවත් කළ හොත් එය අනාගතයේ දී තැන්පත්කරුවන්ටත්, බැංකු පද්ධතියටත් සිදු කරන විශාල අහිතකර ක්‍රියාවක්”
පරාටේ නීතිය හරහා ශ්‍රී ලංකාවේ බැංකු විසින් පුද්ගලයන් 557 දෙනකුගෙන් 2023 නොවැම්බර් දක්වා ලැබිය යුතු ණය රුපියල් බිලියන 38ක් අය කරගෙන ඇති බව ද ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා මෙහි දී සඳහන් කළේය. එය 03 වැනි අදියරේ දුර්වල ණයවලින් 2.7%ක් පමණක් බව ද ඔහු පැවසීය.මෙසේ අය කර ගත් රුපියල් බිලියන 38ක ණය මුදල, බැංකු අංශය විසින් සපයන ලද මුළු ණයවලින් 0.4%ක් බව ද ඔහු අවධාරණය කළේය. 2023 නොවැම්බර් වන විට බැංකු ක්ෂේත්‍රයේ 03 වැනි අදියරයේ අඩාළ වූ ණය ප්‍රමාණය 13%ක් පමණ වන බවත් එහි වටිනාකම රුපියල් ට්‍රිලියන 1.4ක් වන බවත් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. බැංකු විසින් ඉන් 2.7%ක මුදලක් පරාටේ නීතිය හරහා අය කර ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පරාටේ නීතියට නව පනතක් සහ විජේදාස ගේ මතය
පරාටේ නීතිය පිළිබඳ විශාල සංශෝධනයකින් පසු එම නීතිය පිළිබඳ නව පනතක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව එය ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කළේ නම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ගැටලුවක් නොවනු ඇති බව ද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දේපොළ, වත්කම් සහ මූල්‍ය ආයතන උකස් කර හෝ ඇපයට තබා සිය ව්‍යාපාරික කටයුතු සිදු කරන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරු ව රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. සිය වත්කම් ඇපයට තබා ණය ලබා ගත් දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්ට එම මුදල් පියවීමට නො හැකි වීම නිසා බැංකු සහ මූල්‍ය ආයතන පරාටේ නීතිය යටතේ එම දේපොළ එකී ආයතන වෙත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කරයි.
පරාටේ නීතියට යටතේ දේපොළ අත්පත් කර ගත් හා අත්පත් කර ගැනීමට නියමිත ව්‍යාපාරිකයන් ගේ එකමුතුව පසුගිය දෙසැම්බර් 21 වැනි දා විශේෂ සමුළුවක් සංවිධානය කර තිබිණි. එම සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සඳහා පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, පරාටේ නීතිය අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් ද සම්මත කර ගත් හ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,
''සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනවා. මේ රටේ ක්‍රියාත්මක වන බැංකු පද්ධතිය සම්බන්ධයෙන් කථා කරන්න වුණේ, රට බංකොලොත් වූ නිසයි. මේ රට ගොඩ නඟන්න නම් කෘෂිකර්මාන්තයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මුල් තැන ලබා දියා යුතුයි... අපේ රටේ ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කළා නම් මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙහෙම වෙන්නේ නැහැ. මහබැංකුව මූල්‍ය පාලනය පිළිබඳ නිවැරදි තීන්දු අරගෙන තිබෙන්නේ ඉතාම කලාතුරකින් බව කිව යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදේශීය රටවල රඳවාගෙන සිටින අමෙරිකානු ඩොලර් බිලියන 52ක මුදල සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. අපේ රටේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පිළිබඳ විශාල වශයෙන් විවේචන පවතිනවා. රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ. ඒ කාලයේ පරාටේ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුවට හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පමණයි. නිදහස් ආර්ථිකය සමඟ මූල්‍ය ආයතන හා බැංකු හතු පිපෙනවා වගේ ඇති වුණා. මේ පරාටේ නීතිය අවභාවිත වෙනවා...''
පරාටේ නීතිය සම්බන්ධයෙන් විශාල සංශෝධනයකට යා යුතු බවත් ඒ සඳහා නිර්දේශ සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවේ පනත සම්මත කර පරාටේ නීතිය පිළිබඳ නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය. කෙසේ වෙතත් පරාටේ නීතිය පිළිබඳ මහබැංකු අධිපතිවරයා ගේ සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගේ අදහස් අතර ඇත්තේ, විසංවාදයක් වීම මෙහි ලා දැකිය හැකි සුවිශේෂ කාරණයකි.
ලාංකේය එක්සත් ව්‍යාපාරිකයන් ගේ සංගමයේ සභාපති ටානියා.එස්.අබේසුන්දර මහත්මිය අද දෙරණ 'අලුත් පාර්ලිමේන්තුව' වැඩසටහනට එක් වෙමින් පරාටේ නීතිය පිළිබඳ සිය අදහස් පළ කළා ය. මෙරට ව්‍යවසායකයා මේ මෙහොතේ මුහුණ දෙමින් සිටින අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, මහබැංකුව විසින් ගත් අත්තනෝමතික හා ඒකාධිපති තීරණ බව ඇය අවධාරණය කළා ය. මෙහි දී වැරැද්ද සිදු කළේ පා වෙන ණය ලබා ගත් ව්‍යවසායකයා නොව පා වෙන ණය ලබා ගැනීම සඳහා අනවශ්‍ය ලෙස පොලී අනුපාතික වැඩි කළ මහබැංකුව බව ටානියා.එස්.අබේසුන්දර මහත්මිය සඳහන් කළා ය. පරාටේ නීතිය ක්‍රියාත්මක වන්නේ හිතාමතා ණය පැහැර හරින්නන් ගේ (Wilful defaulter) දේපොළ සඳහා බවත් මේ මොහොතේ ව්‍යවසායකයා මුහුණ දෙමින් සිටින්නේ, මහබැංකුව සිදු කළ වැරැද්දක ප්‍රතිඵලය බවත් ඇය අවධාරණය කරයි. මෙය ව්‍යවසායකත්වය ඝාතනය කිරීමේ උත්සාහයක් බව ද ඇය සඳහන් කරයි.
මේ අතර, දැනට ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 625ක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ පදනම් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයක දී හෙළිදරව් කළේය. ලංකා බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 325ක් සහ මහජන බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 300ක් පවතින බව ඔහු සඳහන් කරයි. මෙම අක්‍රීය ණයවලින් අතිවිශාල කොටසක් දේශපාලන චෞර වලල්ලේ පිරිස්වලට ලබා දී අය කර නො ගත් ණය බව ඔහු පවසයි.
රාජ්‍ය බැංකුවලින් ලබා දුන් ණය පැහැර හැරි ව්‍යාපාරිකයන් පිළිබඳ සංවාදය අද ඊයේ ඇති වූවක් නො වේ. එය ආර්ථික අර්බුදය ආරම්භ වූ දා සිට ම කතාබහට ලක් වන ප්‍රධාන මතෘකාවකි. මීට අමතර ව බදු ලෙස රජයට අය විය යුතු විශාල මුදලක් ගැන ද තොරතුරු විටින් විට මාධ්‍යයේ පළ වේ. ඊයේ (03) මෙරට ප්‍රධාන පුවත්පතක සඳහන් ව තිබුණේ, මෙරට ස්කාගාරවලින් රජයට අය විය යුතු බදු මුදල් ලෙස රුපියල් කෝටි 678ක් පැහැර හැර ඇති බව යි. එවැනි තත්ත්වයක් පවතිද්දී උපයන විට අය කළ යුතු බද්දට අමතර ව වැට් බදු ද පනවන ආණ්ඩුවක් අපි දකිමින් සිටිමු. මෙවර වැට් බද්දෙන් ගොවියා ගේ උදැල්ල ද නිදහස් වී නැත. පාසල් සිසුවා ගේ අභ්‍යාස පොත ද නිදහස් වී නැත. ඉදින් එවැනි තත්ත්වයක් තුළ පරාටේ නීතිය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ දේපොළ පවරා ගැනීමට බැංකු විසින් කටයුතු කිරීම නීත්‍යනුකූල නමුත් කොතරම් සදාචාර සම්පන්න ද? එක් පිරිසක ගේ ණය පිළිබඳ ගණනකට වත් නො ගෙන කුඩා මිනිසුන් ගේ ණය සඳහා පමණක් ක්‍රියාත්මක වන පරාටේ නීතිය යනු, මෙලෝ රහකට නැති කිසි දු ගුණයක් නැති පිටි ගුලියක් හෙවත් පරාටා රොටියක් බව පැවසිය නො හැක්කේ කාට ද?