පොහොරවලට වැට් බද්දේ බලපෑම ගැන නිවේදනයක්
January 4, 2024 07:11 pm
දැනට වෙළෙඳපොළේ අලෙවි කරන පොහොර සඳහා වැට් බද්දක් අය කළ හොත් වැට් බිල්පතක් ඉල්ලා සිටින ලෙස පොහොර සැපයුම්කරුවන් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාළ නොවන බව පොහොර සැපයුම්කරුවෝ අවධාරණය කරති.
එයට හේතුව දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ, වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර වන අතර, ඊට වැට් බද්දක් අදාළ සමාගම් විසින් ගෙවා නැති වීමයි.
අද දින පෙරවරුවේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම කාරණය සම්බන්ධ ව සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේ දී දැනට වෙළෙඳපොළේ අලෙවි කරන රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙස අමාත්‍යවරයා එම සමාගම්වලින් ඉල්ලිමක් කර ඇත.
මේ වනවිට 2023/2024 මහ කන්නයේ වී වගාවේ අස්වනු නෙලාගැනීමේ කටයුතු ආරම්භ වී තිබේ.
එමනිසා දැනට රසායනික පොහොර අලෙවියේ කිසියම් අඩු වීමක් ඇති බව වාර්තා වේ.
නමුත් දැනට වෙළෙදපොළේ ඇති පොහොර ආනයනය කර තිබෙන්නේ, පැරණි මිල ගණන් යටතේ වන අතර, එම පොහොර ආනයනයේ දී වැට් බදු අය කිරීමක් සිදු කර නොමැත.
එම නිසා දැනට වෙළෙදපොළේ අලෙවි කරන පොහොර සඳහා කිසියම් ආයතනයක් වැට් අය කරන්නේ නම්, වැට් සඳහා වන බිල්පතක් ඉල්ලා සිටින ලෙස සියලුම ගොවීන් දැනුම්වත් කරන ලෙස පොහොර සමාගම්වල නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන්ය.
එමෙන්ම පළිබෝධනාශක සම්බන්ධ ව වැට් බදු අය කිරීමක් සිදු කළ යුතු වුව ද පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මූලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බව ද පලිබෝධ නාශක බෙදාහරින සමාගම් නියෝජිතයන් ප්‍රකාශ කර ඇත.
