රෝගී දැරිය අරන් ජාවාරමේ ගිය කාන්තාවට සිදුවූ දේ

රෝගී දැරිය අරන් ජාවාරමේ ගිය කාන්තාවට සිදුවූ දේ

January 2, 2024   08:34 pm

සිය රෝගී දරුවාව යතුරුපැදියේ තබාගෙන හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් යුක්තිය මෙහෙයුම අතරතුරදී ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෙම කාන්තාවක් සහ අදාළ දැරිය ගමන්ගත් යතුරුපැදිය ඉංගිරිය පොලිසිය විසින් නම්බපාන ප්‍රදේශයේදී නවතා පරීක්ෂාකර ඇති අතර එහිදී සැකකාරියගේ යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2250ක් පොලීසියට හමුවී තිබේ.

පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කාන්තාව පවසා ඇත්තේ තමා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන සිය 11 හැවිරිදි දැරියද යතුරුපැදියේ තබාගෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙහි නිරත වන බවය.

එමෙන්ම යතුරුපැදියේ අසුන යට තිබූ ජංගම දුරකතන 8ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ද සොයාගත් බවයි පොලීසිය පවසයි.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු අනුව, ඇයට මත්කුඩු ලබාදුන් ඌරුගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ද හෙරොයින් මිලිග්‍රෑම් 2180ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය පරිවාස භාරයට පත් කිරීමට නියමිතය.