ජනවාරි සිට දුරකථන සේවා ගාස්තු වැඩිවෙයි

ජනවාරි සිට දුරකථන සේවා ගාස්තු වැඩිවෙයි

December 30, 2023   06:39 pm

වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි.

සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 18ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද සියයට 3කින් ඉහළ නැංවෙන බව සඳහන්ය.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් නිවේදනය කර ඇත.

ඇතැම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති අතර එමගින් ලබාදෙන දත්ත කෝටාව අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කළේ වැට් බදු හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අවධානමකට ලක්වී ඇති බවය.