පැය තුනහමාරක් දෙවන වරට කළ ප්‍රකාශය

පැය තුනහමාරක් දෙවන වරට කළ ප්‍රකාශය

December 28, 2023   09:34 pm

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අදාළ සමාගමේ හිමිකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) යළි පැය තුනහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ ප්‍රශ්නගත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සැකකරුගෙන් යළි ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගයට අනුවය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සැපයීම සහ ඒවා මිලදීගෙන මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය ඊයේ යළි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ පළමු සැකකරු වන ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සැපයූ සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කියා සිටියේ අදාළ එන්නත් සැපයීමේ සිදුවීම් මාලාවට අදාළව ප්‍රකාශ ලබාදීමේදී තම සේවාදායකයා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම සඳහන් කළද විමර්ශන නිලධාරින් එය සටහන් කර නොගත් බවය.

එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය යළි ප්‍රකාශයක් ලබාදීමට ඇවැසිදැයි නඩුවේ පළමු සැකකරුගෙන් විමසූ අතර ඔහු තමාට යළි ප්‍රකාශයක් ලබාදීමට අවැසි බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පළමු සැකකරුගෙන් අද දිනය තුළම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.